මරණයේ පළමු දොරටුව වසා දමමු

අතීතයේ මිනිස් ජීවිත වෙත එල්ල වී තිබූ තර්ජන සහ වර්තමානය වන විට එම තත්ත්වයේ ඇතිවී ඇති වෙනස්වීම අදහා ගැනීමට තරමට පුදුමය. එදා වසංගත රෝග මිනිස් සංහතියේ මරණයේ සංකේත බවට පත්ව තිබිණි.නමුත් අද මිනිස් ජීවිත වෙත වෙත එල්ල වී ඇති දරුණු  අවිය බවට පත්ව ඇත්තේ බෝ නොවන රෝගයි.(nun communicable diseases) .

බෝනොවන රෝග අතරද දියවැඩියාව දරුණුම මිනිස් ඝාතකයා ලෙස නම් කෙරුනද වරදක් නැත. ඒ ජීවිත අවධානම් ඇතිකෙරෙන රෝගාබාධ ගනනාවක් ඇතිවීමට දියවැඩියාව මූලික හේතුව වන බැවිනි.

හෘද රෝගීන් අතරින් වැඩි පිරිසකට රෝගය ඇතිවීම සදහා මූලික වන්නේ දියවැඩියාවයි. එසේම වකුගඩු රෝගීන් පිලිබද පරීක්ෂා කිරීමේදී ඔවුන් අතර වැඩි පිරිස දියවැඩියා රෝගීන් බව අනාවරණය වෙයි. අන්ධභාවය ඇතිවීම මෙන්ම අක්ෂි රෝහල් වෙත පැමිනෙන වැඩි පිරිස දියවැඩියා රෝගීන් බව හදුනා ගෙන ඇත ‘එසේම ශල්‍යාගාරවල සිදුවන පාද ඉවත්කිරීම වැනි ශල්‍යකර්ම වැඩි වශයෙන් සිදුකරන්නේ දියවැඩියා රෝගීන්ට වීම දියවැඩියාවේ ඇති අවධානම කෙතරම්ද යන්න මනා ලෙස පැහැදිලි කරයි.

දියවැඩියාවේ සැබෑ ප්‍රතිරූපය ඒ තරමට අවධානම්ය. එහෙත් අප රෝගයට බිය විය යුතු නැත.කළ යුතු වන්නේ ඔබ නිරෝගි අයෙක්නම්  රෝගය ඇතිවීම සදහා බලපැවැත්වෙන අවධානමින් ඈත් වීමත් රෝගය වැලදී ඇති අයෙක් නම් රෝගය මනා ලෙස පාලනයත් කිරීමත්ය. එය මරණය සදහා හේතු වන ප්‍රධාන දොරටුව වසා දැමීම ලෙස හැදින් වීම වරදක් නැත.

දියවැඩියාවේදී අපට වලක්වා ගත නොහැකිද හේතුද බලපානු ඇත. එහෙත් වැඩි වශයෙන් දක්නට ඇත්තේ අපට වලක්වා ගත හැකි හේතුන්ය එහිදී ආහාර ප්‍රධාන වෙයි. අද අපේ ආහාර වේල එදා අපේ මුතුන්මිත්තන්ගේ පිෂ්ඨඅධික ආහාර වේල අතර  වෙනසක් නැත. එහෙත් එම ආහාර වේල ලබා ගැනීමට අප අප කෙතරම් යෝග්‍ය දැයි අවධානය යොමු කළ යුතුය. ව්‍යයාම මදවීම, මෙන්ම තරබාරුව, ද අපි දියවැඩියාවේ සංකූලතා සහිත ගොදුරු බවට පත්කරයි.පහළ සාක්ෂරතාවය සමග අත්වැල් බැදගත්  සෞඛ්‍ය දැණුවත්භාවයේ දුර්වලතා,මානසික ආතතිය, ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම වැනි හේතු දියවැඩියාවේ අවධානම් සාධක ලෙස හදුනා ගන ඇත.

එහෙත් මේ වනවිටත් දියවැඩියාව වැලදුනු රෝගියෙක් නම් රෝගය පාලනය කිරීම අවධානම් රෝගවලින් ඈත්වීමට හේතුවෙයි. එහිදී ජීවන රටාවේ යම් වෙනසක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සදහා  ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් වෙත යොමුවීමෙත් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමත් ඔබ රෝග අවධානමෙන් ඈත් කිරීමට හේතු වනු ඇත.

දියවැඩියාව පිළිබදව කුමන නිර්නායක ඉදිරිපත් වුවද වඩාත් වැදගත්ම කරුණ වන්නේ රෝග නිවාරණයයි. එනම් රෝගය සදහා මූලික වන අවධානම් සාධක හදුනාගෙන එයින් ඈත්වීම සදහා කටයුතු කිරීමයි. එසේම රෝගයට ගොදුරුවූ අයෙක් වුවද ඖෂධ භාවිතයට පමණක් සීමා නොවී වෛද්‍ය උපදේශ මෙන්ම එදිනදා  ඇවතුම් පැවතුම් නිසි පරිදි පවත්වා ගැනීමෙන් දියවැඩියාව නිසා ඇතිවන අකල් මරණ මෙන්ම ඒ හා බැදුනු සංකූලතා රෝග වලක්වා ගතහැකියි.

නොවැම්බර් 14 දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී කායිකරෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතාගේ දේශනය ඇසුරින් සකස්කෙරිණි.

සටහන ලක්ෂ්මී වික්‍රමසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *