සමහර වැඩිහිටියන් කුඩා ඖෂධ මාත්රාවට පවා ඉහළ සංවේදිතාවයක් දක්වන බැවින් ඔවුන්ට ඖෂධ ලබාදීමේදී වඩාත් අවධානයෙන් ක්රියා කළ යුතු බවත් ඖෂධ මාත්රාව වෛද්ය උපදෙස් වලට අනුකූලව පමණක් ලබා දෙන ලෙසත් කොළඔ ජාතික රෝහලේ වෘද්ධ රෝග පිලිබද විශේෂඥ වෛද්ය සිතිර සෙනවිරත්න මහතා අවධාරණය කළේය.
“වැඩිහිටියන් අතරින් යම් පිරිසක් ඉන්නවා, දුබලතාවය (Frailty) නැමැති රෝගයෙන් පෙලෙන. ඔවුන්ට කුඩා ඖෂධ මාත්රාවට පවා දැඩි සංවේදීතාවයක් දක්වනවා. මේ හේතුව නිසා ඔවුන් විවිධ සංකූලතාවයන්ට මුහුණ දෙන්න වෙනවා. නිදිමත ඇතිවීම, වැටීම, කල්පනාව අඩුවීම මෙවැනි තත්වයට පත්වූවන්ගෙන් දකින්නට ලැබෙන ලක්ෂණ “
“වැඩිහිටි වයසට පත්වීමත් සමග සමහර පුද්ගලයන් ඉන්නවා හොද ජවයකින් යුතුව ජීවිතයේ ඉදිරි කාලය ගතකරන්න පුලුවන්”, “ ඒත් සමහර වැඩිහිටියන් එම තත්ත්වය නැහැ.ඊට හේතුව ඔවුන් දුබලතාවය කියන රෝගයට ගොදුරු වීම“ . වැඩිහිටි වයසත් එක්ක බර අඩුවීම, වැඩ කරන වේගය අඩුවීම, මාංශපේශි වල ශක්තිය අඩුවීම, මහන්සිය වැඩිවීම, වැඩකරන ප්රමාණය අඩුවීම දක්නට ලැබෙනවා මෙම කරුණු පහ අතරින් කරුණු තුනක් යම් අයෙක් වෙතින් දක්නට ලැබෙනවානම් ඔවුන් දුබලතාවය නැමැති රෝගයෙන් පෙලෙනවා.
“දුබලතාවය” නැමැති රෝගය හදුනා ගැනීම මෙහෙදී වැදගත් කටයුත්තක්. රෝහල්වල වැඩිහිටි සායනය වලදී මෙම රෝගී තත්ත්වය හදුනා ගැනීමට අවශ්ය පරීක්ෂණ සිදුකරනවා, එසේම මේ රෝගි තත්ත්වයන් මිදෙන්න අවශ්ය වෛද්ය විද්යාත්මක ප්රතිකර්ම ලබා දෙනව.
“ප්රෝටීන් බහුල ආහාරයක් ලබාගැනීමත් දුබලතාවයෙන් මිදෙන්න ඉවහල් වෙනව” ඒ වගේම විටමින් ඩී (vitamin D) ඌනතාවයත් වැඩිහිටි වයසේදී දුබලතාවය ඇතිවීමට හේතු වෙනවා. හිරු එළියෙන් විටමින් ඩී ලබාගැනීමට හැකියාව තිබුනත් වැඩිහිටියන් එළිමහනෙ ඇවිදීම සිදුකරන්නෙ නැහැ ඒ නිසා විටමින් ඩී වෙනත් මාර්ගයකින් ලබා ගැනීම අවශ්ය වෙනවා.
එසේම ව්යායාමත් දුබලතාවයෙන් මිදීමට විශාල පිටිවහලක් ලැබෙන බවත් වැඩිහිටියන් ට ව්යායාම අනවශ්ය බව බොහෝ දෙනෙක් සිතන නමුත් එය සමාජයේ මුල් බැස ඇති වැරදි ආකල්පයක් බවත් ඔහු සදහන් කළේය.
වෛද්ය සිතිර සෙනවිරත්න මහතා මේ පිලිබදව පැවසුවේ පසුගියදා සෞඛ්ය ප්රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්ය හමුවකදීය. ලෝක වැඩිහිටි දිනයට සමගාමීව “දිගු දිවියක් උදෛසා අපේ ක්රම ගැන නැවත සිතමු” යන මැයෙන් මෙම වැඩ සටහන නම් කර තිබිණි.