ලඳුන් හැඩ වැඩ කරන, තුඩින් බිලිඳුන් වඩන, තිසරුනි කිම කරුන, රහසෙම ඉකි බිදින.

අප රටේ කාන්තාවන් බහුලවම ගොදුරු වන පිළිකාව මෙන්ම ඒ හේතුවෙන් ඔවුන්ට වැඩිම මරණ සංඛ්‍යාවක් ලගා කර දීමට මූලික වන්නේ පියයුරු පිළිකාව බව ජාතික පිළිකා වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හසරුලි ප්‍රනාන්දු මහත්මිය අනාවරණය කළාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව (2022) ලොව පුරා කාන්තාවන් මිලියන 2.3 ක් පියයුරු පිළිකාව වැලදී ඇති බවත් වාර්ෂිකව  670,000 පියයුරු පිළිකාව හේතුවෙන් මරණයට පත්වන බවත් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව නව රෝගීන් 5500 පමණ හදුනා ගන්නා බවත් ඉන් 800 පමණ දෙනා මිය යන බවත් ඇය සදහන් කළාය.

“මේ වන විට පියයුරු පිළිකාව විශාල සෞඛ්‍ය තර්ජනයක බවට පත්වෙලා ඒ නිසා වසර 20 වැඩි සෑම කාන්තාවක් ම සෑම මසකදීම ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යයි” ස්වයං පියයුරු පරීක්ෂාව කියන්නෙ තමා විසින් තමාගෙ පියයුරු නිරීක්ෂණය කිරීම”

“ඊට අමතරව සායනික පියයුරු පරීක්ෂාවටද යොමුවීම ඉතා වැදගත් වයස අවුරුදු  20 – 40 අතර කාන්තාවත් වසර 3 කට වරක්, වසර අවුරුදු  40 වැඩි කාන්තාවන් සෑම වසරකදීම මෙම පරීක්ෂාව සිදු කළ යුතුයි මැමෝග්‍රම් පරීක්ෂාවද ඉතාම මූලික අවධියේ දී පිළිකාව හදුනා ගැනීමට උපකාරී වෙනව”.

ස්වයං පියයුරු පරීක්ෂාවේදී පියයුරුවේ හෝ කිහිලි ප්‍රදේශයේ පවතින ගැටිති , පියයුරුවේ වේදනාවක්, සම රළු වීමක්, තන පුඩු යටට ගිලීම, තන පුඩුවෙන් ශ්‍රාවයක් පිටවීම , පියයුරු ප්‍රමාණයේ විශාල වීමක් වැනි රෝග ලක්ෂණ පවතීනම් වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු විය බව ඇය අවධාරණය කළාය.

‍පියයුරු පිළිකාව පිලිබද පෙර නිමිති හදුනා ගෙන ඇති අවස්ථාවක කල් නොමරා සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සුවනාරි සායනයට හෝ රෝහල් ආශ්‍රිතව පවත්වා ගෙන යන සුව දිවි සායනය මෙන්ම රෝහල් වල ශල්‍ය වෛද්‍ය සායනයට හෝ සුදුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙසද ඇය අවධාරණය කළාය.

අපේ සමහර කාන්තාවන් පියයුරු පිළිකාව පිලිබද මූලික රෝග ලක්ෂණ හදුනා ගත්තද ඒ සදහා ප්‍රතිකාර ලබා ගැනීමට අනියත බියක් දක්වන බවත් ශල්‍ය කර්ම මගින් පියයරු ඉවත්කරනු ඇතැයි යන මතය මීට හේතුව බවත් එහෙත් මූලික අදියරේදී ප්‍රතිකාර සදහා යොමුවීමෙන් පියයුරු රැක ගැනීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බවත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය  කාංචනා විජේසිංහ මහත්මිය අනාවරණය කළාය.

 පසුගියදා කොළඔ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුහු මේ බව කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *