අප රටේ දරුවන් නිල් තිර (digital screen) සමග ගතකරන කාලය අඩු නොකළ හොත් ඔවුන් අනාගතයේ බෙහෙත් පෝලිම් වල ගත කරන කාලය ඉතා දිගු විය හැකි බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා අවදාරණය කළේය.
ළමා පරපුර ස්මාට් දුරකතන, ලැප්ටොප් පරිගණක, රූපවාහිනී වැනි නිල් තිර ඉදිරියේ දවසේ වැඩි වෙලාවක් ගෙවා දැමීම නිසා ශරීරය ක්‍රියාකාරීව තබාගන්නා කාලය අවම වීම මෙන්ම සුවබර නින්දක් ලබා ගැනීමට ඇති අනුබලය අඩුවී යන බවද ඔහු සදහන් කළේය
වසර දෙකකට අඩු දරුවන් සදහා නිල් තිර නිර්දේශ නොකරන බවද වයස අවුරුදු 2 – 5 දරුවන් සදහා දිනකදී නිල් තිර සමග ගත කරන කාලය පැයකට පමණ සීමා විය යුතු බවත් එයද වැඩිහිටි අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බවත් වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
වර්තමානයේ වැඩිහිටියන් එදිනදා වැඩ කටයුතු අතර දරුවන්ගේ සහය ලබා ගත හැකි සුළු කටයුතු වලට පවා ඔවුන් සහභාගි කර ගැනීමට අකමැති බවත් දරුවන්ගේ සියලු කටයුතු වැඩිහිටියන් විසින්ම සිදුකරන වෙනත්ම ආකාරයක සමාජයක් නිර්මාණය වෙමින් පවතින බවත් වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා අවදාරණය කළේය.
වර්තමානයේ දරුවන් ගොදුරු වෙමින් පවතින මෙම අයහපත් චර්යා රටාවන් නිසා බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ ඉහළ අවධානමකට පත්වන බවත් මෙම සෞඛ්‍ය පරිහානියේ ප්‍රතිපල අත්විදීමට සිදුවන්නේ තව වසර 20 කින් පමන බවත් හෙතෙම ප්‍රකාශ කළේය..
ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ඊයේ (19) පැවවති මාධ්‍ය සාකච්ඡාවකදීය මේ බව ප්‍රකාශ කළේය.
සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ