වැඩිහිටියන්ට වැටෙන්න හේතු වැඩියි.

මෑත දිනක මා නිවසින් බැහැරවූයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගන්නා අදහසිනි. වෙළද සැල එතරම් ඈතක නොවූයෙන් මා පා ගමනින් එහි යාම ආරම්භ කළෙමි. ගමන අතරමග මට අසල්වැසි නිවසක වැඩිහිටි කාන්තාවක් මුණ ගැසිණි. ඇය මා දැක මදක් නතර වූ අතර ඇයට යමක් කතා කිරීමට අවශ්‍ය බව මට දැනිණි.

“කොහොමද ආන්ටි” කොහෙද මේ තනියම යන්නෙ? ඉතා සුහදව මා ඇයගෙන් විමසුවෙමි.

මා ඇසූ දෙයට ඇය උත්තර දීමට උත්සහ කළ නමුත් එම වචන පිටතට නොඇසිණි, ඇ පසුවූයේ දැඩි අපහසුවෙනි.

ඒ සමගම ඇයගේ සමබරතාවය ගිලිහී ගිය අතර ඇය බිම ඇද වැටුනේ මට කිසිවක් හිතා ගැනීමට පවා ඉඩ නොතබමිණි .

වාසනාවකට ඇයට සැලකිය යුතු අනතුරක් සිදු නොවිණි. එහෙත් වැඩිහිටි අයෙක් වැටීම කෙතරම් අවධානමක්ද. මහ මග ඇදවැටුනු ඇයට සුළු ආබාධයක සිට මරණය පවා ඇතිකරීමට තරම් එය දරුණු අනතුරක් වීමට ඉඩ තිබිණි.

එම සිදුවීම ඉතා සාමාන්‍ය දෙයක් ලෙසත් ඇද වැටීම වියපත් දිවියේ සාමාන්‍ය තත්ත්වයක් බවත්. වැටීමෙන් ආරක්ෂාවීම හැර විසදුමක් නැති බවත් බොහෝ දෙනෙක් සිතනු ඇත.

එහෙත් මට එසේ සිතමින් එම සිදුවීම අමතක කිීරීමට නොහැකි විය. වැටීම යනු රෝගයක් බවත් වැටීම වලක්වා ගැනීමට විසදුම් ඇති බවත් මා මීට පෙර අසා තිබිණි, කෙසේ වුවද ඇද වැටීම පිලිබදව සැබෑව නිරාවරණය කර ගැනීම මට අවශ්‍ය විය.  ඒ අදිටනින් මා කොළඹ ජාතික රෝහලේ වෘද්ධ රෝග (geriatric) විශේෂඥ වෛද්‍ය සිතිර සෙනවිරත්න මහතා මුණගැසිණි. ඇත්තටම වැටීම රෝගයක්ද? මම ඔහු ගෙන් විමසුවෙමි.  

“ඔව් “ වැටීම රෝගයක් එසේම රෝග ගනනාවක් බලපෑම නිසාත් විය හැකියි. රෝග නොවන නමුත් රෝග සමග බැදුනු තවත් බො‍හෝ හේතු කාරණාද වැටීම සදහා බලපානවා “

“වැඩිහිටියන් බොහෝ දෙනෙකුට අක්ෂි රෝග බහුලයි. ඒ වගේම කන් ඇසීමේ දුර්වලතා මෙවැනි තත්ත්වයන් යටතේ වැඩිහිටි පුද්ගලයෙකුට වැටීමට පවතින ප්‍රවනතාවය ඉහළයි”

“ඒ වගේම වියපත් වයසේ බොහෝ දෙනෙකු මූත්‍ර රෝග වලින් පෙලෙනවා විශේෂයෙන්ම පාලනයකින් තොරව මූත්‍ර පිටවෙන කෙනෙකුට වැටීමට තියෙන අවධානම බොහෝ වැඩීයි. මීට හේතුව ඔවුන් වැසිකිලිය වෙත යන්නෙ බොහෝ වේගවත් ගමනකින් එම හේතුව නිසා ලිස්සා වැටීමට ඇති ඉඩකඩ වැඩියි.

“වැඩිහිටි වයසේ බොහෝ දෙනෙක් සන්ධි රෝග පවතිනව විශේෂයෙන්ම දණහිසේ ආබාධ එවැනි අයට නිවරදිව ගමන් කිරීම අමාරුයි සමහර අවස්ථාවල එකවරම සන්ධිවල ඇතිවන වේදනාව නිසා වැටීමට ලක්විය හැකියි. එසේම කකුල්වල මාංශපේශී දුර්වලවීම තවත් හේතුවක්.

“සමහර ඖෂධ වර්ග ඝෘජුවම වැටීම සදහා හේතුවන බව හදුනාගෙන තිබෙනවා. fall risks increasing drugs එය හදුන්වනවා’ වගේම සමහර රෝගීන් රෝගාබාධ සදහා ඖෂධ වර්ග ගනනාවක් භාවිතාකරනවා. මෙම තත්ත්වය හදුන්වන්නේ බහු ඖෂධ (polypharmacy) භාවිතය ලෙසයි මෙවැනි පුද්ගලයන් වැටීමට ඇති ඉඩකඩ වැඩියි.

“වියපත්වීම සමග ඇති  මාංශපේශී දුර්වලතාවයද (sarcopenia) වැටීම සදහා බල පැවැත්වෙන තවත් කාරණාවක්. මෙම තත්ත්වය මේවන විට රෝගයක් ලෙස හදුනාගෙන තියෙනවා.

පෝෂණ ඌණතාවය නිසා ඇතිවන සංකූලතාද වැටීමට හේතුවක්. සමහර වැඩිහිටියන්ට නිසි නින්දක් නොලැබීමද වැටීමට මූලික වෙනවා. නිදිමත නිසා ශරීරය නිසි පාලනය ගිලිහී යනවා.

එසේම සමහර පාරිසරික සාධක ද මේ සදහා හේතුවක්.    

ඒ අනුව වියපත් වයසේ 90% ක් දෙනා වැටීම සදහා මෙම රෝගාබාධ සහ අනිකුත් සාධක බලපැවැත්වෙනවා. මේ සියල්ල වැටීම සදහා මූලික වන මූලික කරුණු”.

වැටීම සදහා බලපැවැත්වෙන තවත් හේතු සාධක පවතිනවා නමුත් එම සාධක මූලික වීමෙන් වැටීමට ලක්වෙන්නෙ 10% ක පමණ පිරිසක්. ඔවුන් වැටීමට සිදුවන්නෙ සිහි නැතිවීමත් සමග රුධිරයේ සීනි මට්ටම අඩුවීම, රුධිර පීඩනය වෙනස්වීම්, හදවත් රෝග, ආඝාතය,අපස්මාරය වැනි රෝගාබාධ මේ සදහා හෙතු වශයෙන් සැලකිය හැකියි.

ඒ වගේම වැඩිහිටි ප්‍රජාව වැටීම වලක්වා ගැනීමට හැකියාව තියෙනවද? මගේ ඊලග පැනයද වෛද්‍ය සිතිර සෙනවිරත්න මහතාට ඉදිරිපත් කළෙමි.

“ඔව්, මුලින්ම අපි වැටීම සහ සමබරතාව ගිලිහීම යනු ගැටලුවක් ලෙස හදුනා ගත යුතුයි බොහෝ දෙනෙක් වැටීම වයස සමග බැදුනු දෙයක් ලෙස සිතා සිටිනවා. මුලින්ම ඒ ආකල්පය වෙනස් කළ යුතුයි.

“මෙහිදී වැටීමට මූලික වන හේතු හදුනා ගැනීම ඉතා වැදගත්. අපි කොළඹ ජාතික රෝහලේ වැඩිහිටියන් සදහා විශේෂ සායනයක් පවත්වනවා මෙහිදී රෝගීන් පිලිබදව සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කරනවා (comprehensive geriatric assessment) මෙහිදී වැටීම සදහා බලපැවැත්වෙන හේතු හදුනා ගැනීමත් ඒ සදහා ලබාදිය යුතු පිලියම් යෙදීමද සිදුකරනවා.

 “එසේම සිහිසුන්ව වැටෙන පිරිසගේද රෝගී තත්ත්වය හදුනා ගැනීම සිදුකර ඒ සදහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදීමත් සිදුකරනවා.

“මෙහිදී විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර ගන්නා වැඩිහිටි රෝගීන් මේ පිලිබදව තමා ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයා සමග සාකච්ඡා කර විසදුම් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. සමහර රෝගීන් තරුණ වියේ ලබාගත් ඖෂධ වැඩිහිටි වියේදීත් ලබා ගන්නා අවස්ථා පවතිනවා.

“පාරිසරික වශයෙන් සිදුකරන වෙනස්වීම්ද මෙහිදී ඉතා වැදගත් බොහෝ නිවෙස්වල පවතින පරිසරය තරුණ ප්‍රජාවට ජීවත්වීමට සුදුසු වුවත් වැඩිහිටි පිරිසට එය ආරක්ෂා කාරී නැහැ හැකි පමණින්හෝ නිවෙස් වැඩිහිටියන්ට සුදුසු ලෙස සකස් කර ගැනීමට හැකිනම්  අවධානම් සහ ගැටලු බොහෝ සෙයින් අවම කරගැනීමටත් වැඩිහිටි ප්‍රජාවට ජීවිතයේ සැදෑ සමය සැහැල්ලුවෙන් ගත කිරීමට අවස්ථාව ලබාදිය හැකියි.”

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ

Read More: https://youtu.be/ghWBw0gt4UM?si=dCHcpnHWHjwyNHdj

වෘද්ධ රෝග විශේෂඥ වෛද්‍ය සිතිර සෙනවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *