කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සිට තුර්කියේ ඉස්තාන්බුල් ගුවන්තොටුපල බලා පියාසර කිරීම ආරම්භ කළ TK 731 දරන ගුවන් යානය ඉහළ අහසේදී කුරුල්ලකු ගැටීම නිසා නැවත ගොඩ බැස්වීමට සිදුව තිබේ.
අද (ජූලි 11) උදෑසන 07.07 ට කටුනායකින් ගමන් ඇරඹි මෙම යානය පැය 06 ක ගුවන් ගමනකින් පසුව ඉස්තාන්බුල් වෙත ලගාවීමට නියමිතව තිබිණි.
A330 පුලුල් බඳ කොටසක් සහිත එයාර් බස් යානයක්වූ මෙහි අදාල සිදුවීමට මුහුණ දෙන අවස්ථාවේදී ගුවන් මගීන් 246 ක් සහ කාර්්‍ය මණ්ඩලය 10 දෙනෙකු සිට ඇත.
යානය ගමන් ඇරඹීමත් සමග කුරුල්ලා ගුවන් යානයේ ගැටී ඇති අතර ගුවන් නියමුවා විසින් මේ පිළිබදව කටුනායක ගුවන් තොටුපළ දැනුවත් කර තිබේ.
ඒ අවස්ථාව වන විට යානයේ පැවැති තෙල් සංචිතය කි. ග්‍රෑම් 80,000 වූ අතර තෙල් සංචිත සමග ගුවන් යානයක් ගොඩ බැස්වීම සදහා ජාත්‍යන්තර ගුවන් ගමන් නීතිවලට අනුව ඉඩ අහුරා ඇත.
ඒ හේතුවෙන් ගොඩ බෑමට සුදුසු ඉන්ධන මට්ටමට ගෙන ඒම සදහා යානය මීගමු කලපුවේ අඩි 7000 ඉහළ අහසේ නෝට්ස් 253 වේගයෙන් පැය 03 විනාඩි 15 ක් පියාසර කරනු ලැබ ඇත.
එසේම හදිසි ගොඩ බැස්වීමට සුදුසු වන පරිදි ගුවන් තොටුපල ගිනි නිවීම් රථ, ගිලන් රථ, වෛද්‍ය කණ්ඩායම්, ගලවා ගැනීම් කණ්ඩායම් ගුවන් තොටුපල සූදානම් කර තිබිණි.