අප රටේ බෝ නොවන රෝග කොවිඩ් වසංගතය ද අභිබවමින් මිනිසා ආක්‍රමණය කරමින් සිටින බවත් වයස අවුරුදු 30 – 70 දක්වා වැඩිහිටි ජනගහනයෙන් 20% ගේ ජීවිත අකාලයේ උදුරා ගන්නා බවත් බෝ නොවන රෝග ඇතිවීම සදහා අක්‍රමවත් නින්ද ප්‍රධාන හේතුවක් බවත් කොළඹ වෛද්‍ය පීඨයේ සහ රිජ්වේ ආර්‍යා රෝහලේ ළමා රෝග පිලිබද ජේෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා අවදාරණය කළේය.
නිදි වැරීමෙන් ආතතිය ඇතිවීමට බලපැවැත්වෙන හෝමෝන ඉහළ යන බැවින් සෑම පුද්ගලයෙක්ම ක්‍රමාණුකූල අඛණ්ඩ නින්දක් ලබා ගත යුතු බවත් ඒ සදහා සුදුසුම කාලය රාත්‍රී 10 සිට උදෑසන 04 දක්වා බවත් මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජීවිතයේ විවිධ අවධීන් අනුව නින්ද ලබාගත යුතු කාල සීමා වෙනස් වන බවත් කුඩා කාලයේ වැඩි නින්දක් අවශ්‍ය වන්නා සේම වැඩිහිටි පුද්ගලයෙක් අවම වශයෙන් දිනකට පැය 07 ක වත් නින්දක් ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් හෙතෙම පැවසීය.
ජීවිතයේ මූලික අවශ්‍යතාවයක් ලෙස නින්ද හදුනා ගැනීමේදී දරුවකුගේ ශරීර වර්ධනය එමෙන්ම පටකවල අඩුපාඩු නිවරදි කිරීම, අධ්‍යන ආදියේ මතකය මොළයට ධාරණය, මානසික එකගතාවය පවත්වා ගැනීම සිදුවන්නේ නින්දේදී බවත් මහාචාර්ය වික්‍රමසිංහ මහතා කීය.
මේ වනවිට වත්මන් සමාජයේ බොහෝ පිරිසක් නිසි නින්දක් නොලැබීමේ ගැටලුවට මුහුණ දී ඇති බවත් ඒ සදහා බලපැවැත්වෙන ප්‍රධාන හේතු වශයෙන් නින්ද ලබා ගැනීම පුරුද්දක් ඇතිකර නොගැනීම, කුසගින්නේ නිදා ගැනීම, අධික ආහාර ගැනීම, මානසික ආතතිය හේතුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
තාක්ෂණික මෙවලම් ද මේ සදහා හේතු වන බවද විශේෂයෙන් විද්‍යුත් තිර (ජංගම දුරකතන, රූපවාහිනිය වැනි) මගින් නිකුත් කෙරෙන නිල් පැහැති ආලෝකය (blue light) දෙයාකාරයකින් මිනිසා අවධියෙන් තැබීමට කටයුතු කරන බවත් එයින නිකුත් වන මෙලටොනින් (melatonin) නින්ද සදහා බලපැවැක්වෙන හෝමෝනය අඩුවීම මෙන්ම විද්‍යුත් තිරය කෙරේ ඇති වන ආකර්ශනය නිසා අවධියෙන් තැබීමට බලපැවැත්වෙන බවත් මහාචාර්ය වික්‍රමසිංහ මහතා පැවසීය.
මහාචාර්ය පූජිත වික්‍රමසංහ මහතා මේ බව සදහන් කළේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මිනිසා ජීවිත කාලයෙන් 3/1 කොටසක් නින්ද සදහා ගතකරන බවත් එවැනි විශාල කාලයක් නින්ද සදහා වෙන්වී ඇත්තේ එය ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය අංගයක් නිසා බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ස්වසන රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය දිලේෂා වාදසිංහ මහත්මිය සදහන් කළාය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයට අනුව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට පෝෂදායී ආහාර, ක්‍රමවත් නින්ද, ශරීරය ක්‍රියාකාරීව තබාගැනීම යන කරුණු 03 ඉතා වැදගත් වන බවත් ඇය පැවසුවාය.
ප්‍රමණවත් නින්දක් නොලැබීමෙන් අවධානය යොමු කිරීමේ අපසුතාවය, වැරදි වැඩිවීම, අනතුරු වැඩිවීම, ප්‍රතිශක්තිකරණ දුර්වල වීම, බෝ නොවන රෝග වලට ගොදුරු වීම, මානසික ආතතිය. ආයුෂ අඩුවීම වැනි තත්ත්වයන්ට මුහුණ දෙන බවත් වෛද්‍ය දිලේෂා වාදසිංහ මහත්මිය පෙන්වා දුන්නාය.
ඉර උදාව සමග අවදිවීම සහ රාත්‍රි කාලයේ නින්දට යාම නැමැති ස්වභාවික සංසිද්ධියෙන් මිනිසා ඈත් වී සටින බැවින් ක්‍රමානුකූල නින්දක් නොලැබීමේ ගැටලුවට සමාජයේ බොහෝ පිරිසක් මුහුණ දෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධනකාර්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය පිලිබද විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය සදහන් කළාය.
දරුවන් කුඩාකාලායේ සිටම ක්‍රමවත් නින්දක් සදහා හැඩ ගැස්විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව උපතේ සිට මාස 3 තෙක් පැය 14 -17 ක් , මාස 4 සිට වසරක් දක්වා පැය 12 – 16 ක්, වසර 1 – 2 දක්වා පැය 11 – 14ක්, වසර 3 – 4 පැය 10 – 13 ක්, වසර 5 දී පැය 10 – 12 ක්, වසර 6 – 12 පැය 9 – 12 දක්වා ද, වසර 13 – 18 තෙක් පැය 8 – 10 කාලයක් සුවදායී අඛණ්ඩ නින්දක් අවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය පෙන්වා දුන්නාය.