හිතුමතේ ග්‍රැස්ට්‍රයිටිස්වලට බෙහෙත් ගැනීම ලෙඩ ගොඩකට අතවැනීමක්

ග්‍රැස්ට්‍රයිටිස් රෝගය සදහා වෛද්‍ය නිර්දේශයෙන් තොරව දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීම ඩිමෙන්ෂියාව, ඔස්ට්‍රියෝපොරෝසීස්, යකඩ අවශෝෂණයේ දුර්වලතා, ආසාදනයන්ට ගොදුරුවීමේ වැඩි ප්‍රවනතාවය වැනි රෝග අවධානමක් ඔබට ලගාකරන බව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ආමාශ ආන්ත්‍රික සහ අක්මා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ධනුෂි අබේනායක මහත්මිය අවධාරණය කළාය.     

ආහාර රටාවේ වෙනසක් නොමැතිව වුවද ශරීරයේ බර පහළයාම, ආහාර ගිලීමේ අපහසුව, ආහාර උගුරේ හිරවීම, නිතර වමනය ඇතිවීම සහ වමනය සමග රුධිරය පිටවීම, ඉතා තදකළු පැහැයෙන් මළපහපිටවීම, රුධිරයේ හිමලොබින් පහළයාම, විශේෂයෙන්ම වයස අවුරුදු 45 වැඩි අයෙක් මෙම රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් වෛද්‍ය ධනුෂි අබේනායක මහත්මිය අවධාරණය කළාය.

ග්‍රැස්ට්‍රයිටීස් රෝගය සදහා ප්‍රතිකාර ලබාදීමේදී රෝගය ඇතිවීම සදහා මූලිකවන හේතු සාධක නිවරදිව හදුනා ගැනීම ඉතා වැදගත්ම කටයුත්ත බවත් එහිදී රෝගී තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛද්‍ය පර්යේෂණ සදහා යොමු කරන බවත් රුධිර පරීක්ෂණ, එන්ඩොස්කොපි පරීක්ෂණ, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ මෙන්ම විශේෂ රුධිර පරීක්ෂණ සහ සමර අවස්ථාවලදී වෛද්‍ය නිරිදේශය අනුව PH monitoring metry (මෙම පරීක්ෂණය මගින් ගලනාලයේ ආම්ලිකතාවය මැන බැලීම සිදුකෙරෙයි) සිදුකරන බව ද ඇය සදහන් කළාය.

ග්‍රැස්ට්‍රයිටීස් රෝගය සදහා හේතු ගනනාවක් මූලික වන බවත් එහිදී helicobacterial pylori නිසා ඇතිවන බලපෑම, දිගුකාලීනව වේදනානාශක ඖෂධ භාවිතය,ක්‍රමාණුකූල ආහාර රටාවක් නොමැතිකම එනම් නියමිත කාල පරාසයක් තුල ආහාරවේල් නොගැනීම එසේම අහිතකර ආහාර පරිභෝජනය (තෙල් අධික ආහාර, පිටි සහිත ආහාර, මිරිස් අධික ආහාර වැනිදේ) සමහර පානවර්ග (caffeine අඩංගු කෝපි: tannins අඩංගු තේ, carbonated සහිත පාන,citrus කුලේ පලතුරු) දුම්පානය, මත්පැන් පානය. මානසික ආතතිය,  ගලනාලය ආමාශය අතර කපාටයේ ඇතිවන දුර්වලතාවය hiatal hernia(gastric hernia) වැනි තත්ත්වයන් ප්‍රධානවන බවත් ඇය සදහන් කලාය.

ග්‍රැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ කාණ්ඩ දෙකක් යටතේ හදුනාගන්නා බවත් එහිදී gastro oesophageal reflux disease(GORD) පපුව දැවිල්ල, ඇඹුල් රසට උගුරට එන ගතිය, උගුර දැවිල්ල යන රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවත් දෙවන කාණ්ඩයේදී  dyspepsia ලෙස හැදින්වෙන උදරයේ උඩ කොටසේ වේදනාව හෝ දැවිල්ල බඩේ පිපීම, බඩේ අපහසුව, බඩ පුරවා දැමීම,, ආහාර ගැනීමෙන් පසුව බොහෝ වේලාවක් බඩ පිරීනු ස්වභාවයෙන් පැවතීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවත් කෙසේ වුවද කාණ්ඩ දෙකක් යටතේ වෙන් කෙරුවද බොහෝ රෝගීන් පරීක්ෂා කිරීමේදී මෙම කාණ්ඩ දෙකේම සම්මිශ්‍රනයක් ලෙස දැකිය හැකි බවද ‍ෛවෙද්‍ය අබේනායක මහත්මිය පැවසුවාය.

ග්‍රැස්ට්‍රයිටීස් රෝගය සදහා ප්‍රතිකාර අතර ඖෂධ ප්‍රතිකාර මෙන්ම ජීවන රටාවේ සිදුකරන වෙනස්වීම් විශේෂයෙන්ම ආහාර වේල් ලබාගන්නා කාල පරාසය වෙනස්කිරීම් සිදුකෙරෙන බවත් ඊට අමතරව ඇවතුම් පැවතුම්වල අවශ්‍ය වෙනස්කිරීම් සදහා උපදෙස් ලබා දෙන බවත් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර සිදුකිරීම මගින් රෝගය සම්පූර්ණ සුවකිරීමේ හැකියාව පවතින බවද ඇය අවධාරණය කළාය.

විශේෂඥ වෛද්‍ය ධනුෂි අබේනායක මහත්මිය මේ බව සදහන්කලේ පසුගියදා(29) සෞඛ්‍ය ප්‍රවර්ධන  කාර්යංශයේ  පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය.