හෘද රෝගයක අවධානම දැනුනොත් අප්‍රමාදව රෝහලට යන්න

හෘද රෝගයක පූර්ව සංඥා හදුනාගන්නා ඕනෑම අවස්ථාවක කල්නොමරා වහා රෝහලක් කරා පැමිනෙන ලෙස කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සම්පත් දිසානායක මහතා අවධාරණය කළේය.

හෘද රෝගයකදී ඇතිවන රුධිර අවහිරතාවය හෘදයේ මාංශපේශී මියයාමට හේතුවන බවත් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට සමත් වෛද්‍ය ප්‍රතිකාරයක් මෙතෙක් අනාවරණය කරගෙන  නොමැති බවත් ඔහු සදහන් කළේය.

කෙසේ වුවද නිසි අවස්ථාවේදී රෝහලක් කරා යාමෙන්  මෙම අවධානම් තත්ත්වයට පත්නොවී හෘදය රැක ගත හැකි  වෛද්‍ය ප්‍රතිකාර අපේ ප්‍රධාන රෝහල් පද්ධතිය තුල ක්‍රියාත්මක වන බවත් එසේ වුවද බහුතර පිරිස රෝහල් කරා පැමිනෙන්නේ ප්‍රතිකාර ලබාදීමේ කාල සීමාව ඉක්මවා යාමෙන් පසුව බවත් ‍හෙතෙම සදහන් කළේය.

“ හෘදයේ දැඩි අවහිරතාවයකදී (90% වැඩි )එම කිරීටක ධමනියේ රුධිරය සපයන මාංශපේශී කොටස අඩ පන වෙනවා”ඊට පසු ක්‍රමයෙන් එම ප්‍රදේශයේ මාංශ පේශී මියයාම ආරම්භ වෙනවා මෙය සෛලයෙන් සෛලය මිය යන ක්‍රියාවලිය පැය 12කදී  සම්පූර්ණ වශයෙන් සිදුවී අවසන් වෙනවා මේ නිසා හෘද රෝගයක් ඇතිවීම පිලිබද පූර්ව සංඥා ඇතිවූ අවස්ථාවක ප්‍රතිකාර ලබා ගැනීම පසුව කල් නොදමා පහසුකම් සහිත රෝහලකට පැමිනීම ඉතා අත්‍යවශ්‍ය කරුණක්.

විශේෂයෙන් රජයේ මහ රෝහලක පැමිනීමට පහසුකම් ඇත්නම් එය වඩාත් සුදුසු ක්‍රමවේදය බවත් කෙසේ වුවද තමා සිටින ප්‍රදේශය අනුව ඉක්මන් ප්‍රතිකාර සදහා යොමුවන ලෙසත් ප්‍රධාන පෞද්ගලික රෝහල්වලද මේ සදහා ප්‍රතිකාර ලබාගත හැකි බවද ඔහු සදහන් කළේය.

වෛද්‍ය සම්පත් දිසානායක මහතා මේ බව සදහන් කළේ පෙරේදා (27) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංඍහයේ පැවැති මධ්‍ය සම්මන්ත්‍රණයේදීය

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ