සරම්ප මැඩලන්න එන්නතට පුලුවන්ද?

සරම්ප රෝගයේ අවධානම් ව්‍යාප්තියක් රට පුරා පවතින බවත් ඒ අතර දිස්ත්‍රික්ක 12 ක රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය හසිත තිසේරා මහතා අවදාරණය කළේය.

බස්නාහිර පළාතේ මෙන්ම දකුණු පළාතේ ගාල්ල මාතර ද්‍රස්ත්‍රික් වලත් කුරුණෑගල, මහනුවර,යාපනය, අම්පාර, මඩකලපුව, කමුණේ, යාපනය, පුත්තලම යන දිස්ත්‍රික්ක වල රෝගය ශීඝ්‍රයෙන් පැතිරී යන බවත් රෝගය මැඩපැවැත්වීම සදහා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යම කටයුත්තක් වූ බවත් හෙතෙම පැවසීය.

 වැඩි අවධානම් සහිත දිස්ත්‍රික්ක වල නොවැම්බර් 04 සිට 09 වෙනිදා දක්වා විශේෂ ප්‍රතිශක්තිකරණ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරෙන බවත් වයස අවුරුදු 20 සිට 30 දක්වා තරුණ ප්‍රජාව අදාල සායන පැවැත්වෙන ස්ථාන වලට පැමිණ ප්‍රතිශක්තිකරණය එන්නත් ලබාගෙන ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් වෛද්‍ය හසිත තිසේරා මහතා දැනුම් දුන්නේය.

බිළිදු අවදියේදී සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් අයෙකුට වුවද නැවත එය ලබාගැනීම ගැටලුවක් නොවන බවද ඔහු පැවසීය.

සරම්ප වෛරසය එක් ආසාධිතයකු 18 දෙනෙකු වෙත රෝගය පතුරුවා හැකි ශීඝ්‍ර පැතිරීමක් ඇති වෛරස් රෝගයක් බවත් රෝගියකුගේ සෙම, සොටුදියර, ආසාදිත ස්ථාන ස්පර්ශය, කැස්ස, කිවිසුම් වැනි ක්‍රමයන් මගින් රෝගය පැතිරී යන බවත් වෛද්‍ය හසිත තිසේරා මහතා පෙන්වා දුන්නේය.

 ජීවිතයේ කුමන වයසක පසුවන අයෙකුට වුවද සරම්ප රෝගය  වැලඳිය හැකි බවත් නියුමෝනියාව, මොළය ඉදිමීමෙන් ඇතිවන එන්සෆලයිට්, මැදකනේ ආසාදන නිසා බිහිරිබව, අන්ධභාවය, මළ දරු උපත්, නොමේරූ දරු උපත් වැනි සංකූලතා සහිත රෝග ඇතිවිය හැකි බවත් හෙතෙම අවදාරණය කළේය.

වෛද්‍ය හසිත තිසේරා මහතා මේ බව සදහන් කළේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

රෝග වලක්වාගැනීම සදහා ලොව ඇති කාර්යක්ෂම මෙන්ම වඩාත්ම පලදායී ක්‍රියාමාර්ගය ප්‍රතිශක්තිකරණය බවත් රෝග නිවාරණය සදහා ප්‍රතිශක්තිකරණය හදුන්වාදීමට පෙර ලෝකය රෝගව්‍යාධිවලින් පිරී ගිය ඉතා අසුන්දර තැනක් වූ බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පෙන්වා දුන්නේය..