SLITA ආයතනය උපාධි මට්ටමට උසස්වෙයි

අප රට තුල ඇඟලුම් ක්ෂේත්‍රය පිලිබද උපාධියක් ලබා ගැනීමට ඇති අවස්ථාව පුලුල් කරමින් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය (SLITA) උපාධි ප්‍රධානය කිරීමේ තත්ත්වයට උසස්වීම හිමිකරගෙන ඇත.

1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 25A වගන්තියට අනුව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය SLITA උපාධි ප්‍රධානය කරන ආයතනයක් ලෙස පිලිගෙන ඇති අතර 2025 ජූලි 22 නිකුත්කර ඇති 2446/36 අති විශේෂ ගැසට් නිවේදනය මගින් පේෂකර්ම හා ඇගලුම් ආයතනය පිලිබද BSc උපාධිය ප්‍රධානය කිරීමේ බලය සහ අධිකාරිය එම ආයතනයට ලබා දී තිබේ.

SLITA ආයතනයේ පළමු උපාධි වැඩසටහන ලෙස පේෂකර්ම සහ ඇඟලුම් අධ්‍යනය පිලිබද විද්‍යාවේදී උපාධිය (BSc in textile and apparel studies ) හදුන්වා දී ඇති අතර උපාධිය හැදෑරීම සදහා අවශ්‍ය අවම සුදුසුකම ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන අපොස උසස්පෙළ විභාගය එක් වරකදී ඕනෑම විෂය ධාරවක් යටතේ විෂයන් තුනක් සමත්ව තිබීම  ( S සාමාර්ථ ලබා තිබීම ) හෝ ඊට සමාන සුදුසුකම් සහ අ.පො.සා පෙළ විභාගයේදී අවම වශයෙන් ගණිතය සහ විද්‍යාව විෂයන්ට සම්මාන සාමාර්ථ සහිතව විභාගය සමත්වීම හෝ ඊට සමාන සුදුසුකම්.

SLITA ආයතනයේ නව සන්නාම නාමය SLITA Campus ලෙස එළි දැක්වීම පෙරේදා( 22) එහි සභාපතිනිය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් විවෘත කෙරුනු අතර මේ අවස්ථාවSLITA. අධ්‍යක්ෂ ජෙනරාල් තරංග නලීන් ගම්ලත්, වැඩබලන පීඨාධිපති  ශාන්ත රත්නායක කමිටු මණ්ඩල සාමාජික නතාෂා බාලසූරිය, සහ සමන් ජයසිංහ යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.