ලීසිං ගෙවා නැති වාහන තග දමා උස්සන්න බැහැ.

වාරික නොගෙවීම හේතුවෙන් කල්බදු සමාගමක් විසින් පැහැරගත් වෑන් රථය නැවැත එහි හිමිකරුට ලබාදෙන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඊයේ (17) නියෝග කෙරිණි.

කල්බදු ගෙවීම පැහැර හරින අවස්ථාවකදී  කල්බදු සමාගමකට අදාල  වාහන පැහැර ගැනීම  සදහා කිසිදු අයිතියක් නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා සදහන් ක‍ෙළ්ය.

පසුගිය අගෝස්තු මාසයේදී නිටිටඹුව පල්ලෙවෙල ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් මෙම වෑන් රථය පැහැර ගෙන ඇති අතර  එහිදී අදාල පිරිස විසින් ඔවුන් කල්බදු සමාගමකින් පැමිණි බවත් වාරික මග හැරීීම නිසා වෑන්රථය පැහැර ගත් බවත් එහි හිමිකරුට පවසා ඇත.

පසුව වෑන්රථයේ හිමිකරු මේ පිලිබදව අත්තනගල්ල පොලීසියට පැමිණිලි කර තිබූ අතර එහිදී පොලීසිය විසින් අධිකරණයට දැන්වීමෙන් අනතුරුව අත්තනගල්ල අධිකරණය මෙම සිදුවීම සම්බන්ධව නඩුව ගොනු කර තිබිණි.

මෙම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව වාහනය පැහැරගත් පුද්ගලයන් දෙදෙනා රක්ෂණ බන්ධනාගාර ගත කිරීමට  අධිකරණය නියෝග කර තිබිණි.

ඊයේ දින නැවත මෙම නඩුව විභාගයට ගැනුනු අතර එහිදී අත්තනගල්ල මහේත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අදාල වෑන්රථය එහි හිමිකරුට මුදාහරින ලෙස කල්බදු සමාගමට නියෝග කර තිබිණි.

කල්බදු නොගෙවීම සම්බන්ධව දිසා අධිකරණයට කරුණු වාර්තා කළහැකිබව මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.