දඩයම් යුගයේ සිට තාක්ෂණ යුගයට පරිනාමයෙන් පරිමාව හීනවූ ව්‍යායාම

ක්‍රියාකාරී ජීවන රටාවෙන් ඈත්වීම නිසා පසුකාලීනව විවිධ රෝගාබාධ වලට ගොදුරුවීමේ අවධානම කාර්මික විප්ලවයෙන් පසුව මිනිසා මුහුණදුන් දැවැන්තම අභියෝගයයි. තාක්ෂණික මෙවලම් සමග බැදුනු  නවීන යුගයේ මිනිසා ද මේ වනවිට  රෝග අවධානමේ ඉහළම කොටස් කරුවන් බවට පත්වෙමින් සිටිති. වර්තමානයේ නිර්මාණය වන නව රැකියා මෙන්ම අනාගතය සඳහා සැලසුම් කෙරෙන බොහෝ රැකියා මානසික ශ්‍රමය මෙන්ම ශාරීරික ක්‍රියාකාරීත්වයෙන් ඈත්වී ඇත. මේ නිසා ලොව ජනගහනයෙන් බහුතර පිරිස රෝගාබාධ වලට නතුවීමේ දැඩි අවදානමට පත්ව තිබේ.

මේ වන විට ව්‍යසනයක් පරිදි බෝ නොවන රෝගවල ව්‍යාප්තියක් සිදුවන අතර ඒ සඳහා අක්‍රීය ජීවන රටාව ප්‍රධාන හේතුවක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. කෙසේ වුවද බෝ නොවන රෝග (Non Communicable Disease) හේතුවෙන් වාර්ෂිකව ලොවට අහිමිවන මිනිස් ජීවිත ප්‍රමාණය මිලියන 43 ද ඉක්මවා යන බව 2021 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල අනාවරණය කර ඇත.

ශරීරය ක්‍රියාකාරී නොවන රැකියාවල නියුතු සෑම අයෙක්ම ව්‍යායාමයක යෙදීමේ අවධානාත්මක කටයුත්ත මේ වන විට ලොව පුරා ක්‍රියාවට නංවා ඇත. අප සමාජය ද එය වඩාත් අවධානය යොමු කල යුතු වන්නේ මේ වන විට බෝ නොවන රෝග වලට ගොදුරුවීමේ දැඩි අවදානම් කණ්ඩායම් අතර අප රටේ ජනතාව ඉතා ඉදිරියෙන් සිටීම හේතුවෙනි .

වර්තමානයේ පාසල් ළමුන්ද අක්‍රිය ජීවන රටාවකට යොමු වී තිබීම මෙහි තවත් අන්තයකි. ක්‍රීඩා පිටියෙන් මෙන්ම පරිසරයෙන්ද ඈත් වී සිටින ළමා පරපුර වැඩි වශයෙන් මානසික ක්‍රියාකාරී කටයුතුවල නිරතවීම මීට හේතු සාධක වෙයි. වැඩිහිටි පුද්ගලයකුට වඩා වැඩි කාල පරිච්ඡේදයක් ශරීරය ක්‍රියාකාරි ව්‍යායාමයක යෙදීම ළමුන් සඳහා නිර්දේශ වී තිබේ.

ළමුන්ගේ ශාරීරික ක්‍රියාකාරීත්වය පිළිබඳව නිකුත්කර ඇති පාසැල් චක්‍ර ලේඛනයේ  සඳහන්වන අන්දමට සෑම ළමයෙක්ම එක් ක්‍රීඩාවක හෝ නිරත විය යුතු බව අවදාරණය කර ඇත. ඊට අමතරව පාසල් කාල සටහනේ සතියකදී එක් කාල පරිච්ඡේදයක් ශරීරය ක්‍රියාකාරිව තබා ගැනීමේ වැඩසටහනක් වෙනුවෙන් වෙන් කෙරේ. මෙවැනි වැඩසටහන් කෙතරම් දුරට ක්‍රියාත්මක වුවද මෙහි ප්‍රායෝගික සඵලතාව කොතරම්ද යන්න විමසිලිමත් විය යුතු කරුණකි.

ළමාවියේ සිටම ශරීරය ක්‍රියාකාරීත්වය තබා ගැනීම පිළිබඳව වැඩි අවදානයක් යොමුකල යුත්තේ රුධිර නාලවල මේද තැන්පත් වීම ළමාවියේ සිටම ආරම්භ කෙ‍ෙරන නිසාය.එනම් උපතේ සිට දෙවන දශකයේදී රුධිර නාළවල මේදය තැන්පත්විම සඳහා අඩිතාලම සකස් කෙරේ. සෑම ළමයකුගේම ශාරීරික ක්‍රියාකාරීත්වය මනා ලෙස පවත්වා ගැනිමට වැඩි අවධානයක් යොමුකළ යුත්තේ මේ හේතුවෙනි. ලෝකයේ දියුණු ජන සමාජවල කුඩාවියේ සිටම ක්‍රියාකාරී ළමාවියක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කෙරේ.

මානසික ශ්‍රමය පමණක් වැයකර රැකියාවල නියුතු පිරිස් මෙන්ම ශරීර ශක්තිය වැය නොකරන සෑම අයෙක්ම සතියට දින පහක් වන පරිදි දිනකට පැය භාගයකට වැඩි කාලයක් ව්‍යායාමවල නිරතවිය යුතු බව සෞඛ්‍ය නිර්දේශයයි.

කෙසේ වුවද එකම ස්ථානයක පැයකට වැඩි කාලයක් අසුන්ගෙන සිටීමද යහපත් සෞඛ්‍ය පුරුද්දක් නොවන බව සඳහන් කළ යුතුය. තම රාජකාරි කටයුතු සැලසුම් කිරීමේදී අතර මැද ස්‍රුඵ හෝ ශරීරය ක්‍රියාකාරී වන ලෙස ඉරියව්ව වෙනස් කිරීමට කටයුතු කිරීම යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වා ගැනීමට නිර්දේශයකි.

ව්‍යයාම ශාරිරික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා සුවිශේෂ මෙහෙවරක් ඉටු කෙරෙයි. විශේෂයෙන්ම එදිනෙදා පීඩාකාරී මානසික ගැටලු මෙන්ම විෂාදය වැනි රෝගී තත්ත්වයන් ඇති අවස්ථාවල මනස සමබරව පවත්වා ගැනීමට ව්‍යායාම මඟින් ඉටු වන්නේ මා හැගි මෙහෙවරකි. ව්‍යායාම මගින් මානසික ඒකග්‍රතාවය දියුණු කිරීම මානසික පීඩනය අවම කිරිමටද කටයුතු කරයි.

ශරීරය ක්‍රියාකරිව තබා ගැනීමෙන් සිදුවන සුවිශේෂ මෙහෙවර වන්නේ බෝ  නොවන රෝග අවදානමෙන් ඈත් වීමයි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආඝාතය, සමහර පිළිකා වර්ග වැනි බෝ නොවන රෝග ගණනාවක් සඳහා වන අවදානමෙන් ඈත් වීමට ව්‍යායාම ඉවහල් වෙයි.

සන්ධි සහ මාංශ පේශීවල ශක්තිය වැඩි වීමට ව්‍යායාම අත්‍යවශ්‍යම කටයුත්තක් බවට පත්ව තිබේ. ”ඔබේ සන්ධි රෝගී වීමෙන් වළක්වා ගැනීමට නම් ඒවා ක්‍රියාකාරිව තබා ගන්න” යැයි සන්ධි රෝග පිළිබඳ දීර්ඝ කාලයක් පරීක්ෂණ සිදු කළ විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙන්නේ ව්‍යායාම මඟින් සිදුවන වාසි පිළිබඳ සඳහන් කරමින් සන්ධි රෝගීන් සඳහා විශේෂිත වූ ව්‍යායාම සිදුකල හැකි අතර සන්ධි හිරවීම නිසා සිදුවන විකෘතිකාද වළක්වා ගත හැකිය. එසේ වුවද සන්ධි රෝගීන් මෙන්ම එවවැනි පීඩාකාරී තත්ත්වයන් සහිත රෝගීන් ව්‍යායාම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තකි.

වියපත්භාවය සමඟ සෛල ක්‍රියාකාරීත්වය අඩපණ වීම සාමාන්‍ය සිද්ධියක් වුවත් ව්‍යායාම මඟින් ඒවා වඩාත් ක්‍රියාකාරීව ශක්තිමත්ව පවත්වා ගැනිම සඳහා අවස්ථාව සැලසේ. ව්‍යායාම සඳහා යොමු වීම ළමා කාලයේ සිටම ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මේ අනුව පැහැදිලි වේ.

ශරීරයේ අධික  බර පාලනය සඳහා ව්‍යායාම මඟින් සිදු කරන කාර්යභාරය සුවිශේෂ වුවද ශරීරයේ බර අඩු කිරීමේදී සෘජුවම ක්‍රියාකාරී වීමට ව්‍යායාම වලට හැකියාවක් නොමැත. එහිදී වඩාත් අවධානය යොමු කළ යුත්තේ ආහාර පාලනය පිළිබඳවයි. ව්‍යායාම වලින් ශරීරයේ බර පාලනය කර ගැනීමට 30% ක පමණ දායකත්වයක් ලබා දුන්නද ඒ සඳහා මූලික වන අනෙකුත් සාධක කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.

ව්‍යායාම තෝරා ගැනීමේදී තම සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම නිධන්ගත රෝගවලින් පෙළෙන අය වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම තෝරා ගැනීම වඩාත් සුදුසුය. දියවැඩියාව සඳහා ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන් මෙන්ම හෘද රෝගීන්ද මෙහිදී අවදානම් පිරිස ලෙස සඳහන් කළ යුතුය. කෙසේ වුවද අවදානම් රෝගී තත්ත්වයන් ගෙනේ පෙළෙන අවස්ථා වලදී හැර අනෙක් සෑම අවස්ථාවකදීම ශරීරය ක්‍රියාකාරීව තබා ගැනීම සඳහා ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බව වෛද්‍ය නිර්දේශයයි.

ව්‍යායාම සඳහා දවසේ විශේෂ කාල පරිච්ඡේදයක් වෙන් කර ගැනීමට හැකියාව පවතී නම් එය වඩාත් සුදුසුය. එසේ නොවන අවස්ථාවල තමන්ට හැකි අයුරින් වෙලාවක් සකස් කර ගත හැකිය. පැය භාගයේ සිට පැය 1 1/2  ව්‍යායාම වල යෙදීම සුදුසු වේ. එහිදී හෘද වාහිනී වල ක්‍රියාකාරීත්වය සඳහා සිදුකරන ව්‍යායාම මෙන්ම (Cardiovascular) පේශි ශක්තිමත් කරන (Body Wait) ව්‍යායාම වල නිරතවීම අවශ්‍ය වේ. ව්‍යායාම කිරීමේදී අධික කාලයයක් ඒ සඳහා වැය කිරීම සුදුසු නැත.

උපදෙස් – ශ්‍රී ලංකා උත්තේජන මර්දන නිවාරණ ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාහාචාර්ය කායිකරෝග වි‍ෙශ්ෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා