ලෝකයේ සෑම ජන ප්‍රජාවක්ම මුහුණ දෙන සෞඛ්‍ය හා සමාජීය වශයෙන් සෘජු ලෙස බලපෑම් එල්ල කෙරෙන සංකීර්ණ ගැටලුවක් ලෙස තරබාරුව දැකිය හැක. එසේම ඒ පිළිබඳව ගොඩනැගී ඇති සමාජ ආකල්ප හා මතිමතාන්තර හේතුවෙන් තරබාරුව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අභියෝගාත්මක තත්ත්වයක් ඇති කිරීමටද සමත්ව තිබේ
තරබාරුව ලෙස හැඳින්වෙන්නේ සම්මත ස්කන්ධ දර්ශක ඉක්මවා ශරීර බර ඉහළ යාමයි. උසට සරිලන බර ප්‍රමාණයක් මැනීම සඳහා භාවිත කෙරෙන ජාත්‍යවවන්තර දර්ශකය BMI ලෙස හැඳින්වේ. එනම් ශරීර ස්ක්නධය උසේ වර්ගයෙන් බෙදූ විට ලැබෙන අගය තරබාරුව හඳුනාගැනීම සඳහා භාවිත කරන සම්මත මිනුම් දණ්ඩක් ලෙස හැඳින්වේ.
BMI – බර (Kg)/ උසේ වර්ගය (m වලින් ලබා ගන්න)
BMI දර්ශකය – 18.5 – 22.9 යන පරාසය තුල උසට සරිලන නියමිත බර ප්‍රමාණය පිළිබඳව දැක්වෙයි.
එසේවුවත් දර්ශකය 23 වැඩි අගයක් ගන්නේ නම් එය තරබාරුව පිළිබඳව අවදානම් කාණ්ඩයක් ලෙස සැලකේ. ඊට අමතරව ඉන වටා ප්‍රමාණය මැන බැලීමද දර්ශකය වන අතර කාන්තාවකගේ උදර ස්ථුලතාව පිළිබඳ පිරිමි පුද්ගලයකුගේ 80 / 90 අඩු විය යුතුයි.
තරබාරුව සෞඛ්‍ය ගැටලුවක් ලෙස හැඳින්වීමට බලපැවැත්වෙන ප්‍රධාන හේතුව වන්නේ එය බෝනොවන රෝග ඇතිවීම සඳහා සෘජුවම කරන බලපෑම නිසාය. බෝනොවන රෝග අද ලෝකය පුරා වසංගතයක් පරිදි ක්‍රියාත්මක වෙමින් ඉහළ මරණ අනුපාතිකයක් ඇති කිරීමට සමත්ව තිබේ.
තරබාරුව ඇති වීම සඳහා බලපැවැත්වෙන හේතු ගණනාවක් පිළිබඳව හඳුනාගෙන ඇත. එහෙත් මෙහිදී මූලික වන කරුණ වන්නේ ආහාර පරිභෝජනයේ විෂමතාවයන්ය. සමහර අවස්ථාවල කුඩා අවධියේ සිටම තරබාරු සිරුරක් ඇතිවීම සඳහා අඩිතාලම සකස් කෙරේ. කෙසේ වුවද ජීවිතයේ කුමන අවධියක තරබාරුව ඇතිවුවද ඒ සඳහා ප්‍රධාන හේතුව වන්නේ අක්‍රමවත් ආහාර පරිභෝජනයයි.
පසුගිය දශක දෙකක පමණ කාලයේ සිට අපේ ආහාර රටාවේ සිදු වූ විශාල වෙනස්වීම තරබාරුව සඳහා සෘජුවම බලපෑම් එල්ලවිය. අතීතයේ පැවති ක්‍රමවත් ආහාර රටාව වෙනුවට මේදය අධික කැලරි ආහාර මෙන්ම පිරිසැකසූ ආහාර (Processes Food) උදා ක්ෂණික නුඩ්ලස්, සොසේජස් වැනි ආහාර එසේම නිෂ්ඵල ආහාර (උදා – චොකලට්, බැඳපු අල පෙති) පරිභෝජනයට යොමුවීම තරබාරුව සඳහා මූලික හේතුව ලෙස හඳුනාගෙන ඇත.
තරබාරුව සඳහා මූලික වන අනිකුත් හේතුව ක්‍රියාකාරී නොවන ජීවන රටාවයි. වර්තමානයේ බොහෝ දෙනෙක් කාර්ය බහුල එහෙත් ක්‍රියාකාරී ජීවන රටාවකට යොමු නොවූ පිරිසයි. විශේෂයෙන්ම ශක්තිය දහනය වන ක්‍රියාවලියක නොයෙදීම නිසා ශරීරයේ මේදය තැන්පත් වීම තරබාරුවට ඇතිවීමට බලපැවැත්වේ.
මීට අමතරව ජානමය හේතු සාධක මෙන්ම හෝමෝන සම්බන්ධ ගැටලු නිසා තරබාරුව ඇති වේ. එහෙත් එවැනි හේතු අවදානම් කරුණු ලෙස සැලකිල්ල යොමුකල නොහැක.
තරබාරුව සමඟ සබැඳුණු රෝග ගණනාවක්ම ඇත. සමහර රෝග ඇතිවීම සඳහා තරබාරුව ඉහළ ප්‍රවණතාවයක් දක්වයි.
- තරබාරු අයෙකුට මෙම රෝග ඇතිවීමේ අවදානම සාමාන්‍ය අයෙකුට මෙන් තුන් ගුණයක් ඉහළ යයි.
- දියවැඩියාව
- රුධිර නාළවල මේදය තැන්පත් වීම
- මඳ සරුභාවය
- රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුව
සාමාන්‍ය අයෙකුට වඩා දෙගුණයකින් අවදානම ඇතිවන රෝග
- හෘදයාබාධ
- අධි රුධිර පීඩනය
- ආඝාතය
- ආතරයිට්ස්
- මානසික රෝග
පියයුරු පිළිකා, ගර්භාෂ පිළිකා ඇතිවීමේ අවදානම තරබාරු කාන්තාවන් අතර ඉහළ අගයක් ගන්නා අතර පුරස්ථි ග්‍රන්ථ (Prostate Cancer) ඇතිවීමේ අවදානම තරබාරු පුරුෂයන් අතර වැඩි නැඹුරුකාවයක් දක්නට ඇත. ඊට අමතරව සම මතුපිට දිලීර ඇතිවීමේ අවදානම ද පවතී.
තරබාරුව අඩුකර ගැනීම
තරබාරුව අඩුකර ගැනීමට ප්‍රධාන වශයෙන් ආහාර පාලනය කෙරේ අවධානය යොමු කළ යුතුයි. තමාගේ ශක්ති ප්‍රමාණය වැය කෙරෙන ප්‍රමාණයට ගැළපෙන පරිදි ආහාර වේල සකස් කර ගැනීම කළ යුතුය. ආහාර වේල් මගහැරීම තරබාරුව අඩුකර ගැනීමට ප්‍රධාන උපක්‍රමයක් ලෙස සැලකුවද එමඟින් සිදුවන හිඟ ආහාර වේලේ අවශ්‍යතාව ඊළඟ ආහාර වේල මත බලපෑම් කෙරෙයි. වඩාත් සුදුසු කටයුත්ත තමාට සුදුසු ආහාර වට්ටෝරුවක් සඳහා පෝෂණවේදියකුගේ උපදෙස් ලබා ගැනීමයි.
ඔබ වැයකෙරෙන ශක්ති ප්‍රමාණය පිළිබඳ දැනුමක් අවබෝධයද මෙහිදී වැදගත් වේ.
ශරීරය ක්‍රියාකාරීව තබා ගැනීම මෙහිදී අවධානය යොමු කළ යුතු අනෙකුත් ප්‍රධාන සාධකය වෙයි. වෛද්‍ය උපදෙස් අනුව තමාට සුදුසු ව්‍යායාම තෝරාගත යුතුය.
— දකුණු කොළඹ ශින්ෂණ රෝහලේ දියවැඩියාව සහ අන්තරාසර්ඝ රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය.