වියපත් වයසේදී ඇතිවන ශරීර ශක්තිය පිරිහීම සාමාන්‍ය තත්ත්වයක් නොව රෝගයක් බව කොළඹ ජාතික රෝහලේ වෘද්ධ රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය සිතිර සෙනවිරත්න මහතා අනාවරණය කළේය.
“වයසට යාම සමග ඇතිවන දුබලතාවය අපි මෙතෙක් කල් සැලකුවෙ සාමාන්‍ය තත්ත්වයක් විදිහට නමුත් මේ වන විට එය දුබලතාවය (frailty) නැමැති රෝගයක් ලෙස හදුනා ගෙන තියෙනව” එසේම එක් එක් පුද්ගලයාගේ දුබලතාවයේ ස්වභාවය අනුව ඒ සදහා ලබාදිය හැකි පිලියම් ද නවීන වෛද්‍ය විද්‍යාවේ ඇතුලත් ”.
දුබලතාවයට ප්‍රතිකාර ලබාදීමට පෙර ඔවුන් එම රෝගයට ගොදුරු වී සිටීද යන්න හදුනාගත යුතු බව ද එහිදී ඔවුන් එදිනදා ජීවිතයේ කටයුතුවලට දක්වන ප්‍රතිචාර අනුව නිගමනයකට පැමිණිය හැකි බවද හෙතෙම සදහන් කළේය.
“ශරීරය දුර්වලවීම, වැඩ කිරීමේ වේගය අඩුවීම, කරන වැඩ අඩුවීම, සුළු කටයුත්තකදී වුවද මහන්සිය, බර අඩුවීම වැනි ලක්ෂණ දැක ගත හැකි බවත් මෙම ලක්ෂණ 05 අතරින් ලක්ෂණ 03 ක් යම් අයෙකුට පවතීනම් එම තැනැත්තා දුබලතාවයෙන් පෙලෙන බවත් ඔහු පැවසීය.
වැඩිහිටි වයසේදී ඇතිවන සමබරතාවය ගිලිහීයාම ද දුබලතාවය දැනුම්දෙන ප්‍රබල සංඥාවක් බවත් මේ තත්ත්වයට පත්වූ තුන්දෙනෙකකු අතරින් එක් අයෙක් ද අවුරුදු 80 ඉක්මවූ සෑම දෙදෙනකු අතරින් එක් අයෙක් ද වසරක් ඇතුලත බිම ඇද වැටෙන බව ඔහු අවධාරණය කළේය.
ඊට අමතරව ඇවිදීම අපහසුවීම, මූත්‍ර පාලනය ගිලිහීයාම, කල්පනාශක්තිය අඩුවීම, බෙහෙත්වලට අධි සංවේදිතාව වැනි තත්ත්වයන්ද දැකිය හැකි බවද ඔහු පැවසීය.
මෙම ලක්ෂණ වැඩිහිටිවියේ පොදු ලක්ෂණ නොවන බැවින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතු බවත් එමගින් දුබලතාවය අඩුකර ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගත හැකි බවත් වෛද්‍ය සිතිර සෙනවිරත්න මහතා කීය.
ක්‍රියාකාරී ව්‍යායාමවල යෙදීම, බර එසවීමේ (කුඩා බර පංතියක්) එසවීම, පෝෂණ රටාවන් පවත්වා ගැනීම, පෝට්‍රීන් සරු ලබා ගැනීම, විටමින් ඩී ලබා ගැනීම දුබලතාවය වලක්වා ගැනීම සදහා පිලියම් බවත් දුබලාවය පිලිබද රෝහලකින් හදුනාගෙන ඊට ප්‍රතිකාර ලබා ගැනීමද අවශ්‍ය බවත් ඹහු අවධාරණය කළේය.
කෙසේ වුවවද වැඩිහිටි වයසේදී සෑම පුද්ගලයෙකුම මේ ආකාරයට දුබලතාවයට පත් නොවන බවත් මේ අතර ජව සම්පන්න පිරිසක්ද සිටින බවත් ඔවුන් පහසුවෙන් රෝගවලට ගොදුරු නොවීම මෙන්ම රෝගයකින් සුවය ලැබීමද ඉක්මනින් සිදු වන බවත් ඔහු සදහන් කළේය.
පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී වෛද්‍ය සිතිර සෙනවිරත්න මහතා මේ බව කීය.