සුපිරි බලවතුන් සමග කරට කර ඉන්න අපේ රුධිර පාරවිලයන සේවය.

රුධිර දායකත්වය සදහා සුදුසුකම් සපුරන සෑම පුද්ගලයකුටම වසරකදී තෙවතාවක් රුධිරය ලබාදීමේ හැකියාව පවතින බවත් ජාතික රුධිර මධ්‍යස්ථානයක් වෙත පැමිණ රුධිරය ලබා දීමෙන් මෙම අවස්ථා තුනේදීම සක්‍රීයව රුධිරය පරිත්‍යාග කළ හැකි බවත් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම කායික මානසික ඉතා වෙහෙසකර සැලකිය යුතු ආර්ථික පිරිවැයක් දැරිය යුතු කටයුත්තක් බැවින් එවැනි කඳවුරු වසරකට එක් වතාවකට වඩා පැවැත්වීම දුෂ්කර  කාර්යක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

රුධිර මධ්‍යස්ථාන 110 ක් රට පුරා ක්‍රියාත්මක බවත් ජංගම රුධිර කඳවුරු වලට මෙන්ම රුධිර මධ්‍යස්ථාන වෙතද පැමිණ රුධිර දායකත්වය ලබා දෙන මෙන් තමා නිරෝගී ප්‍රජාවෙන් ඉල්ලන බවත් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

රුධිර මධ්‍යස්ථාන වෙත ලැබෙන සෑම රුධිර ඒකකයක්ම ප්‍රකෘති තත්ත්වයෙන් රෝගීන් වෙත ලබානොදෙන බවත් ලොව දියුණු රටවල් පමනක් භාවිතා කරණ උසස් නාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් එම රුධිරය සංඝටක 04 කට වෙක් කරන බවත් රෝගීන්ගේ අවශ්‍යතාවය අනුව සංඝටක වෙන් වෙන් වශයෙන් ඔවුන්ට ලබාදෙන බවත් ඔහු සදහන් කළේය.

එය උත්ත්‍රාර්ධ ගෝලයෙ රටවල් පමණක් භාවිතා කරන සුවිශේෂ රෝගී සත්කාරක සේවාවක් බවත් ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් රටවල එම තාක්ෂණ්‍ය යොදා ගැනීම සුවිශේෂ කටයුත්තක් බවත් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.  

ශ්‍රී ලංකාවේ වාර්ෂික රුධිර අවශ්‍යතාවය ඒකක 300,000 පමණ වන බවත් මානව හිතවාදී රුධිර පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය හේතුවෙන් මෙම අවශ්‍යතාවය පූර්ණය කරගත හැකි බවත් ‍හෙතෙම සදහන් කළේය.

වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසංහ මහතා මේ බව සදහන් කළේ “ජීවිත සුරැකීමට පියනගමු “යන මැයෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය.