ලාදුරු ලප ගැන ලාවට හිතන්න එපා

ලාදුරු රෝගය, ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලබා ගැනීමේ හැකියාව පැවතියද සමහර රෝගීන් ප්‍රතිකාර සදහා යොමුවන්නේ ශරීර අවයව දුබලතාවයට පත්වීමෙන් පසුව බවත්  එවැනි අවස්ථාවක එම ශරීර අංග යථා තත්ත්වයට පත්කිරීම දුෂ්කර කටයුත්තක් බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර මහත්මිය අනාවරණය කළාය.

“ලාදුරු කියන්නෙ ශරීරය භාහිරව දකින්න ලැබෙන පැල්ලමකට සීමා නොවී  පර්යන්ත ස්නායුවලට ද බලපෑම් කිරීමේ හැකියාව ඇති බැකිටීරියාවක් නිසා ඇතිවන රෝගයක් .මෙම ස්නායුවලට සිදුකෙරන බලපෑම නිසා අත්පා වල විශේෂයෙන්ම ඇගිලිවල දුබලතාවයට ලක්වෙනව. රෝගය නිට්ටාවට සුව කළ හැකිවුවත් මේ ආකාරයට ශරීර අංග වල ඇතිවන දුබලතාවය නිවරදිකිරීම දුෂ්කරයි“.

‘ඒහේතුව නිසා යම් පුද්ගලයෙක් රෝග ලක්ෂණ හදුනාගැනීමෙන් පසු කල් නොමරා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම ඉතා වැදගත් කටයුත්තක්”.

“ප්‍රතිකාර පමාවීමෙන් යම් ආකාරයකට ශරීර අංග දුබලතාවයට පත්වුවොත් ඔවුන් ට රැකියාවක නිරතවීම මෙන්ම එදිනදා කටයුතු කරගැනීම අපහසු වෙනව. එවිට ඔවුන්  සමාජයේ යැපෙන්නන් පිරිසක් බවට පත්වෙනවා .”

වාර්ෂිකව ලාදුරු රෝගීන් 1,500 – 2,000 අතර පිරිසක් ප්‍රතිකාර සදහා රෝහල් වෙත පැමිනෙන බවත් ඒ අතරින් වැඩි පිරිස අයත්වන්නේ අවුරුදු 25 – 45 අතර ශ්‍රම බලකායට බවත් එසේම 12% පමණ ළමා ප්‍රජාව ද මේ අතර සිටින බව මෙන්ම 10% -12% පමණ පිරිස ප්‍රතිකාර සදහා යොමු වන්නේ ශරීර අබාධ සහිතව බවත් ඇය අනාවරණය කළාය.

 ලාදුරු රෝගියෙකුගේ  කෙළ හෝ සොටු බිදිති කිවිසීම හෝ කැස්ස මගින් නිරෝගී පුද්ගලයෙකුගේ ස්වසන මාර්ගයට ඇතුලුවීමෙන් රෝගය වැලදෙන බවත් එසේ වුවද රෝගකාරක විෂබීජය ශරීරගතවූ පුද්ගලයන් අතරින් 95% ක් පමණ රෝගය බෝ නොවීමේ ප්‍රවනතාවයෙන් යුක්ත බවත් රෝගයට ගොදුරු වන්නේ 5% පමණ පිරිසකට බවත් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සදහන් කළාය.

සංවේදනය අඩු හෝ සංවේදය නොමැති සමේ පැහැයට අඩු පැහැති ලප (වැඩි වශයෙන් වැලමිට හා ඒ අවට ) , ඉබේ ඇතිවන අත්පා වල සියුම් හිරි ගතිය, සමේ ඉහළට නෙරීම, (ඩෝ නට් හැඩයට) යම් ස්ථාන වල ඝන වීම. ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ බවත් මෙම ලක්ෂණ පවතීනම් කල් නොමරා සමේ රෝග සායනයට පැමිණ අදාල පරීක්ෂණ වලට යොමු වන ලෙසත් බහු ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය නිට්ඨාවටම සුවකළ හැකි බවත් වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය අවධාරණය කළාය.  

ජනවාරි 26 දිනට යෙදෙන ලෝක ලාදුරු දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඔවුහු මේ බව පැවසූහ.

සටහන ලක්ෂ්මී වික්‍රමසිංහ.