රුධිරයද දන්දී රුධිර ජනක සෛලත්(ඇට මිදුළු) දන්දී පාරමිතා පුරන්න

ශ්‍රී ලාංකික ජනතාවගේ නොමසුරු දායකත්වය හේතුවෙන් ජාතික රුධිර අවශ්‍යතාවය හිගයකින් තොරව සපුරාලිය හැකි බව ජාතික රුධිර මධ්‍යස්ථානයේ අධෂක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

රුධිර ගත රෝගවලට ගොදුරුවීම, බරපතල ශල්‍යකර්ම, හදිසි අනතුරු, දරු උපතකදී අධික රුධිර වහනය වැනි රුධිර අවශ්‍යතාවයන් නිරතුරුවම පෙළගැසෙන බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය ලබාගැනීමද අඛණ්ඩව සිදුකළයුතු බව වෛද්‍ය එදිරිසිංහ මහතා අවදාරණය කළේය.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 70 ක පමණ ජාතික රුධිර අවශ්‍යතාවය පරිත්‍යාග ශීලීන්ගෙන් ලබාගන්නා නමුදු අනෙකුත් සෑම රටකම රුධිරය වාණිජ භාණ්ඩයක් බවට පත්වී ඇති බවද හෙතෙම සදහන් කළේය.

 ජුනි 14 දිනට යෙදෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසංහ මහතා මේ බව කීය.

රුධිරය පරිත්‍යාග කිරීම ඉතා ප්‍රසස්ථ මට්ටමක පැවතියද රුධිර ජනක සෛල (ඇට මිදුළු) පරිත්‍යාග කිරීම ජාතික මට්ටමින් ක්‍රියාත්මක නොවන බැවින්  රෝගීන් විශාල ප්‍රමාණයක් ජීවිත අවධානමට ලක්ව ඇති බව රුධිර පාරවිරලනය පිලිබද විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක මහත්මිය සදහන් කළාය .  

ජීවිතය අයදිමින් සිටින රෝගීන් විශාල පිරිසකගේ පොරොත්තු ලේඛන මේ වනවිට රෝහල්වල ගොඩ ගැසෙමින්  පවතින බවත් විශේෂඥවෛද්‍යවරිය පැවසුවාය.

රුධිරගත පිළිකා ,තැලසීමියා වැනි සමහර රෝගීන් සදහා රුධිර ජනක සෛල(ඇට මිදුළු) බද්ධ කිරීමේ අවශ්‍යතාවය පැවතියද එම දායකයන් නොමැතිවීම මේ තත්ත්වය උදාවීමට හේතුව බවද වෛද්‍ය ලක්මාලි මහත්මිය පෙන්වා දුන්නාය.

ලෝකයේ බොහෝරටවල රුධිර ජනක සෛල දායකයන්ගේ ලේඛනයක් පවතින නමුත් ශ්‍රී ලංකාවේ එවැනි වැඩ පිළවෙළක් ක්‍රියාත්මක නොවීම විශාල අඩු පාඩුවක් බවත් වෛද්‍යවරිය කීවාය.

මේ වනවිට කොළඹ ළමා රෝහලේ ,අපේක්ෂා රෝහලේ මෙන්ම යාපනයේ රෝහලේද ඇට මිදුළු බද්ධකිරීමේ සැත්කම් සිදුකරන බවත් නොබෝ දිනකින්ම  මහනුවර මහ රෝහලේ ද  එම ශළ්‍යකර්ම ආරම්භ කෙරෙන බවද  විශ්ෂඥ වෛද්‍යවරිය සදහන්කළාය.

රුධිර ජනක සෛල පරිත්‍යාග කිරීමට අපේක්ෂිතයන් ලක්ෂයකගෙන් සමන්විත ලේඛනයක් පිළියෙළ කිරීමේ වැඩ පිලිවෙළ මේ වනවිට දියත් කර ඇති බවත් මේ සදහා සුබදායක ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් පැවසුවාය.