රජුත් දණ නැමූ දූ කුමරියගේ රස දැණුම

එක් රජෙකුට ඉතා නැණවත් දියණියන් තිදෙනෙක් සිටියහ. කුමරියන් තිදෙනා රූමත් වූ අතර ඉතා ගුණ ගරුක අය වූහ.

දිනක් රජුට දූ කුමරියන්ගේ දැණුම පිලිබදව අන් අයටද පෙන්වීමට අවශ්‍ය විය. ඔහු ඒ පිලිබදව දියණියන්ගෙන් විමසූ විට ඔවුන්ගෙන් අපූරු යෝජනාවක් ඉදිරිපත් කෙරිණි. දියණියන්ගේ ඉල්ලීම පරිදි විශේෂ දිනයක් වෙන් කරවූ රජතුමා නෑ හිත මිතුරන් බොහෝ දෙනෙක් රාජ සභාවට කැදවූහ. ඕනෑම ගැටලුවක් කුමරියන්ගෙන් විමසන ලෙස රාජ සභාවට දැනුම් දුන්නේය.

රාජ සභාවෙන් විවිධ ගැටලු ඉදිරිපත් විය.

කුමරියන් තිදෙනාද ගැටලු සියල්ලට මැනවින් පිලිතුරු දුන්හ. රැස්ව සිටි සියලු දෙනා ඔවුන්ගේ නැණ නුවණ ගැන බොහෝ පැහැදුනු අතර කුමරියන්ට සැම දෙනාගේම ප්‍රශංසාව හිමිවිණි.

එහෙත් මේ අවස්ථාවේ රාජ සභාවේ සිටි එක් වයස්ගත පුද්ගලයෙකු නැගී සිටීයේය. ඔහු ඉතා ප්‍රසිද්ධ කායික වෛද්‍යවරයෙකු මෙන්ම රජ බිසවගේ කිට්ටු ඥාතියෙක්ද විය. ඔහුට කුමරියන්ගෙන් ගැටලුවක් විමසීමට අවශ්‍ය විය.

“රජතුමනි මට එක් පැනයක් තියෙනවා විමසන්න ඒ සදහා අවස්ථාවක් ලබා දෙනමෙන් ඉල්ලනවා.”

ගැටලු විමසීම අවසන්ව තිබුනද මදක් කල්පනා කළ රජු ද ඒ සදහා අවසර ලබා දුන්නේය.

කුමරිවරුණි ලොව රසවත්ම දේ කුමක්ද? එසේම එම ද්‍රව්‍යය ලොව රසවත්ම දේ බව පැවසීමට හේතු මොනවාද වියපත් පුද්ගලයා පැනය ඉදිරිපත් කළේය.

“ලොව රසවත්ම දේ සීනි“ වැඩිමහල් කුමරිය සහ දෙවන කුමරිය පිලිතුරු ලබා දුන්නාය.

“ සීනි ඕනෑම ආහාරයකට මිශු කළ විට එහි රසය දෙගුණ තෙගුණ වශයෙන් ගුණනය වෙනවා එසේම එය ඕනෑම මිහිරි රසයක ආදේශකයක් ඒ ආකාරයට කුමරියන් විවිධ හේතු සාධකද ඉදිරිපත් කළහ.

එහෙත් බාල කුමරියගේ වෙනත් පිලිතුරක් ලැබිණි.

“ලොව රසවත්ම දේ ලුණු“ ඇය දැඩි අධිෂ්ඨානයෙන් පිලිතුරු දුන්නාය.

ඇයගේ පිලිතුරින් මහලු පුද්ගලයා හැරෙන්නට රාජ සභාවම මහත් හඩින් සිනා සෙන්නට විය. ලුණු වල මොන මිහිරි රසයක්ද රාජ සභාවේ තැන තැන කසුකුසු පැතිරිණි.

දියණියගේ පිලිතුරට රාජසභාවේ ප්‍රතිචාර දුටු රජු කෝපයට පත්විය. වහාම රාජ සභාව එදිනට අවසන් කරන ලෙස දැනුම් දුන්නේය .

මේ හේතුව නිසා කුමරියට ලුණු රසවත්ම දේ යැයි ඔප්පු කිරීමට අවස්ථාවක් නොලැබිණි.

කලක් ගතවිය,

කුමරියන් තිදෙනා විවහා වී වෙනත් නගරවල පදිංචියට ගියහ.

නොබෝ දිනකින්ම රජුද නෑ හිතමිතුරන් පිරිවරා සිය දියණියන් ගේ මාලිගාවන් බලා පිටත් විය. වයස් පිළිවෙළින් දියණියන් බහැ දුටු රජු අවසානයේ බාල කුමරියගේ මාළිගාවට පැමිණියේය..

බාල කුමරිය පිරිස පිලිගැනීමට ඉතා අලංකාර උත්සවයක් සූදානම් කර තිබිණි. පිරිස මාළිගාවට කැදවූ කුමරිය සුහද පිලිසදරකින් පසුව ඉතා ආකර්ශනීය ලෙස සූදානම්කර තිබූ රාජභෝජනය පිලිගැන්වුවාය. ඔවුන් මහත් ප්‍රීතියෙන් භෝජන රස විදීමට ආරම්භ කළ නමුත් මද වෙලාවකින්ම ඔවුන්ගේ ප්‍රීතිය පහව යනු දක්නට ලැබිණි.

පිරිසේ බොහෝ දෙනෙක් ආහාර ගැනීම නවතා වටපිට බලන්නට වූහ.

‘’කුමන හෝ අතපසුවීමක් සිදුව ඇතිද? ඔබ සියලු දෙනා මහත් අසතුටින් බව පෙනෙයි. ආහාර වල කිසියම් දෝෂයක්ද?’’ කුමරිය විචාලාය.

‘’මේ ආහාරවල කිසිම ප්‍රණීත රසයක් නැහැ අපි කෙසේ මේ ආහාර භුක්ති විදින්නද?’’

 රජු ඉතා අප්‍රසාදයෙන් ප්‍රකාශ කළේය.

මම ඒ ආහාරවලට ලුණු මුසු නොකරන ලෙස අරක්කැමියාට උපදෙස් ලබා දුන්නා”. රජ කුමරිය ප්‍රකාශ කළාය.

‘’කුමන කරුණකටද ඔබ එසේ ක්‍රියා කළේ ද“ රජු කෝපයෙන් විමසුවේය.

“කෝප නොවන්න පිය රජතුමනි, එදා රාජ සභාවේදී ලොව රසවත්ම දේ ලුණු බව මා පැවසුවා. එවිට ඔබ සියලු දෙනා මා අවඥාවට පත්කලා. අද මා මෙසේ කටයුතු නොකලානම් ලොව සත්‍යය යටපත් වෙනවා කුමරිය හේතුව පැහැදිලි කළාය.

ඒ අවස්ථාවේ එදා රාජ සභාවේදී පැනය ඉදිරිපත් කළ වියපත් වෛද්‍යවරයා ඉදිරියට පැමිණියේය.

“කුමරිය ඔබගේ පිලිතුර ඉතා නිවරුදියි. නමුත් මිනිස් සිරුරට ලුණු අවශ්‍ය වන්නේ ඉතාම අල්ප ප්‍රමාණයයි. ලුණු අධිකව පරිභෝජනය හදවත ලෙඩ කරන ඉතා නපුරු රෝග කාරකයක්. ආහාර පිළියෙළ කරන සෑම අවස්ථාවකදීම එය මතකයේ තබාගන්නන’’. ඔහු පැහැදිලි කළේය.

කුමරියගේ මෙන්ම වියපත් වෛද්‍යවරයාගේ ප්‍රකාශ සත්‍ය බව රජු ඇතුලු පිරිස පිලිගත්හ. සත්‍ය වටහා දීම පිලිබදව ඔවුන් දෙදෙනාටම තුති පුද කළහ.

“ආහාර මෙවැනි පෞද්ගලික කටයුක්තක් වෙනුවෙන් යොදාගැනීම යහපත් ක්‍රියාවක් නොවේ මා ඒ පිලිබදව සැම දෙනාගෙන්ම සමාව අයද සිටිනවා එසේ පැවසූ කුමරිය ලුණු මුසුකොට සකස් කළ ඉතා ප්‍රණීත භෝජනයෙන් පිරිසට සංග්‍රහ කිරීමට කටයුතු කළාය.

දිවට දැනෙන මිහිරිම රසය ලුණු බව සැබෑවකි එහෙත් අපි ලුණු පරිභෝජනය කළ යුත්තේ එහි සීමාවන් හදුනාගෙනය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට දිනකට මිනිස් පරිභෝජනය සදහා සුදුසු ලුණු ප්‍රමාණය ග්‍රෑම් පහකි(05).