දුර ගමන් බස්වලට තත්ත්ව සහතිකය අනිවාර්යයි.

දුර ගමන් බස්රථ ධාවනයට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් අනිවාර්යය බවත් එහි පළමු අධියර කොළඹ බැස්ටියන් මාවතෙන් සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් අරඹන බස්රථ යොදාගනිමින් එලඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.

කි.මී  100ට  වැඩි දුර ධාවන බස් රථ මෙන්ම අන්තර් පළාත් බස් රථ ධාවනයට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකය ලබාගැනීම අනිවාර්යය බවත් පෙෘද්ගලික චාරිකා සදහා යොදා ගන්නා දුර ගමන් බස්රථ සදහාද මෙම නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.

පුහුණු ,නීතිගරුක රියදුරන්ට පමණක් සුක්කානම ලබාදීම සදහා අවශ්‍ය වැඩපිළවෙළ ක්‍රියාවට නංවා ඇති බවත් එය බලගැන්වීම සදහා අදාල  සියලුම පාර්ශවයන් ශක්තිමත් කරන කෙටිකාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙළට රජය අවතීර්ණ වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය  කළේය.

අනතුරු අවම කර ගැනීම සදහා නිවරදි කළ යුතු අනෙකුත් සාධක සියල්ල කෙරෙහිද අවධානය යොමුකර ඇති බවත් මේ සදහා  නීතියට සහ දඩුවම් වලට පමණක් සීමා නොවන ආකල්පමය වෙනසක් ඇතිකිරීම සදහා කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

දින දින ඉහළයන රිය අනතුරු හේතුවෙන් ඇතිවී ඇති ඛේදජනක තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා අග්‍රාමාත්‍යවරිය ඇතුලු අදාල සියලුම පාර්ශවයන් සමග පැවැත්වූ  සාකච්ඡාවලින් අනතුරුව මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගූ බවද අමාත්‍යවරයා සදහන් කළේය.

ඊයේ (10) මග නැගුම මහ මැදුරහි පිහිටි මහ මාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ මාධය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ පිලිබදව පැවසීය .මෙම අවස්ථාව සදහා ප්‍රවාහන සහ  මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ,ප්‍රවාහන සහ මහමාර්ග අමාත්‍යංශයේ අතිරේඛ ලේකම් අවන්ති සේනාරත්න, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති, ඉංජිනේරු පී ඒ චන්දුපාල, බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, කමල් අමරසිංහ මාර්ගසංවර්ධන අධිකාරියේ සභාපති ටී පාස්කරන්, සහ එහි අධ්‍යක්ෂ පෙනරාල් විමල් කන්ඩම්බි, නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.