කෑවම ලෙඩ නොවන ආහාර

අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් බලාපොරොත්තු විරහිත අවස්ථාවල දී ආහාර වල සෞඛ්‍ය ආරක්ෂිත බව බිද වැටෙන බවත් ආහාර සුරක්ෂිත බව රැකගැනීමට වඩාත් ක්‍රියාකාරී පාලන ක්‍රමවේදයක් රටක පැවැතිය යුතු බවත් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා අවදාරණය කළේය.

සෞඛ්‍ය අමා‍ත්‍යංශයේ ආහාර පාලන ඒකකය මෙන්ම ඊට අදාල අනිකුත් සෞඛ්‍ය අංශ වඩා ක්‍රියාකාරී දායකත්වයක් මේ සදහා ලබාදෙන බව වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා කීය.

ආහාරවල ආරෂිත බව ගිලිහී යාම සදහා ප්‍රධාන හේතු ගනනාවක් බලපැවැත්වෙන බවත් ආහාරවලට විවිධ කාණ්ඩවල ක්ෂුද්‍ර ජීවීන් ඇතුල් වීම මෙන්ම ඇපල ටොක්සින් වැනි ධූහක ද්‍රව්‍ය එක්වීම, විකිරණශීලි ද්‍රව්‍යය සාන්ද්‍රණය වීම එසේම  ආහාර ද්‍රව්‍ය නොවන විවිධ දේ ආහාර සමග එක්වීම මේ සදහා මූලික වන බවද හෙතෙම සදහන් කළේය.

වෛද්‍ය ආනන්ද ජයලාල් (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂිතා) මේ බව සදහන් කළේ ලෝක ආරක්ෂිත ආහාර දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්ශංයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පාලනය කළ නොහැකි විවිධ හේතූන් ගනනවාක් ආහාර අනාරක්ෂිත වීම කෙරේ බලපෑම් කෙරෙන බවත් ඒ අතර ගංවතුර වැනි ආපදාවකදී ජලයේ  සෞඛ්‍ය ආරක්ෂිත බව මුලුමනින්ම  ගිලිහී යන බවත් ආහාර අතරින්ද වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ආරක්ෂිත නොවන තත්ත්වයට පත්වන බවත් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සදහන් කළේය .

සහල්, එළවළු, පලතුරු, මෙන්ම ඇටවර්ග ගංවතුරින් හානියට පත්වුවහොත් ඒවා කිසිසේත්ම ආහාරයට සුදුසු නොවන බවත් ටින්කළ ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනීමට පෙර බීමට ගන්නා  වතුරින් සෝදා නැවත ක්ලෝරීන් මිශ්‍ර ජලයේ බහා තබා පිරිසිදු කරගන්නා ලෙසටත් ඒවා නැවත කල්තබාගැනීමට සුදුසු නොවන බවත් හෙතෙම සදහන් කළේය.

එසේම ගංවතුරින් යට වූ ප්‍රදේශවලින් ආහාර මිලදී ගැනීම සෞඛ්‍ය ආරක්ෂිත නොවන බවද වෙද්‍ය තිලක් සිරිවර්ධන (අධ්‍යක්ෂ පාරිසරික සෞඛ්‍ය වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂිතා) පැවසීය.

ආහාර විෂ වීම් සදහා හේතු වියහැකි ක්ෂුද්‍ර ජීවීන් ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ සිටිය හැකි බැවින් ආහාර මිලදී ගැනීමේදී ආහාරගබඩා කිරීම, පිලියෙල කිරීම, වැනි අවස්ථා වලදී ඒ පිලිබදව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය සුජාතා පතිරගේ මහත්මිය සදහන් කළාය.

වියපත් ජනගහනය ඉහළයාම ,සමහර පිරිස් අතර සිරුරේ ප්‍රතිශක්තිය පහළ වැටීම ,ආහාර රටාවන් වල වෙනස්වීම් වැනි හේතු සාධක නිසා මෑත කාලයේ ක්ෂුද්‍ර ජීවීන් හේතුවෙන් ආහාර විෂවීම වැඩි වශයෙන් වාර්තා වන බවද වෛද්‍ය සුජාතා පතිරගේ මහත්මිය පැවසුවාය.

රටේ ජනතාව වැඩි වශයෙන් පාරිභෝජනය සදහා යොදා ගන්නා මාංශ ජනක ආහාරයක් වූ කුකුළු මස් සහ බිත්තර සෞඛ්‍ය ආරක්ෂිත පවත්වා ගැනීම සම්බන්ධව නිරතුරු පරීක්ෂාවට ලක්කෙරෙන බැවින් එම ද්‍රව්‍ය වල ආහාර විෂවීම් අවම මට්ටමක පවතින බව බැක්ටීරියා විද්‍යාව සහ ව්‍යාධි විද්‍යාව පිලිබද ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය රොෂාන් මඩලගම මහතා සදහන් කළේය.

ලොව අන් රටවල් සමග සසදීමේදී ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදනය නව තාක්ෂණය උපයෝගි කරගත් විධිමත් ක්‍රම වේද යටතේ සිදුකරණ බවද හෙතෙම පැවසීය..