ක්‍රෙඩිට් ඩෙබිට් ගණුදෙනු වලට 3% ක් ඇඩ් කරන්න බැහැ – මහ බැංකුව කියයි.

ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් (ඩිජිටල් කාඩ්) භාවිතා කරමින් සිදු කරන ගණු දෙනු සදහා පාරිභෝගිකයාගෙන් 2.5% හෝ 3% වැනි ප්‍රතිශතයකින් අමතර ගාස්තුවක් අයකර ගැනීමට කිසිදු ආයතනයකට හැකියාව නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා අවදාරණය කළේය.

යම් පාර්ශවයක් විසින් ඩිජිටල් ගණුදෙනු සදහා අමතර ගාස්තුවක් අයකර නු ලැබුවේ නම් පාරිභෝගිකයාට කාඩ්පත හිමි බැංකුව මගින් එම අමතර මුදල ආපසු ලබා ගත හැකි බවද ඒ සදහා ගණුදෙනුවට අදාල රිසිට් පතක් අදාල වෙළද ආයතනයෙන් ලබාගන්නා ලෙසද හෙතෙම සදහන් කළේය.

ඩිජිටල් ගණුදෙනු සම්බන්ධයෙන් බැංකුව සහ වෙළද ආයතන අතර ගිවිසුමක් පවතින බවත් එම ගිවිසුමට අනුව ඩිජිටල් කාඩ් භාවිතයෙන් කරන ගෙවීම් සදහා පාරිභෝගිකයාගෙන් අමතර ගාස්තුවක් අය කර ගැනීමට හැකියාව නොමැති බවත් වසන්ත අල්විස් මහතා අවදාරණය කළේය.

ශ්‍රී ලංකාවේ දිනකදී සිදුකෙරෙන ඩිජිටල් ගණුදෙණු ප්‍රමාණය මිලියන 1.6 (ලක්ෂ 16ක් ) ක් පමන බවත් එයින් ලක්ෂ 8 ක පමණ ගණුදෙණු ඩිජිටල් කාඩ් හරහා සිදුකෙරෙන බවත් ලක්ෂ 6ක් පමණ ඔන් ලයින් ගණුදෙනු සිදුවන බවද හෙතෙම පැවසීය.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙණු ප්‍රසස්ථ මට්ටමක පවතින බවද ඔහු කීය.

අද (23) මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය සම්භන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා මේබව සදහන් කළේය.