ඖෂධ, රැකෙන්නද? නැසෙන්නද?

ඖෂධ අධිමාත්‍රාව නිසා දිනක දී ලොවට අහිමි වන මිනිස් ජීවිත ප්‍රමාණය දස දහසක්  පමණ වන බව ජාතික රෝහලේ විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා අවදාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ඖෂධ අධිමාත්‍රාව නිසා වසරකදී 20,000 ක් පමණ රෝහල් ගත වන බවත් ඉන් බහුතරය හිතාමතා ඖෂධ අධිමාත්‍රාව ලබාගන්නා බවත් ඔවුන් වැඩි වශයෙන් මේ සදහා භාවිතා කරන්නේ පැරසිටමෝල්ට් ඖෂධය බවත් වෛද්‍ය රවී ජයවර්ධන මහතා පැවසීය.

පැරසිටමෝල්ට් අධිමාත්‍රාව නිසා වැඩිම හානියට පත්වන ඉන්ද්‍රිය අක්මාව බවත් එවැනි තත්ත්වයට පත්වූ අයෙක් දැඩි ශාරීරික වේදනාවකට පත්වීම මෙන්ම අසාධ්‍ය ලෙස රෝගී වන බවත් එසේම දුක්:ඛිත මරණයකට ගොදුරුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පැරසිටමෝල්ට් අධිමාත්‍රාව නිසා රෝහල් ගතවන කුඩා දරුවන් පිලිබදව බහුලව වාර්තා වන බැවින් ඔවුන්ට ඖෂධ ලබාදීමේදී වෛද්‍ය නිර්දේශය අනුවම කටයුතු කරන ලෙසත් නියමිත මාත්‍රාවෙන් නියමිත කාල පරාසයකදී ඖෂධ ලබාදිය යතු අතර දැනුවත්භාවයෙන් යුතු වැඩිහිටියෙකු මෙම කටයුතු සිදුකළ යුතු බවත් වෛද්‍ය රවී ජයවර්ධන මහතා අවදාරණය කළේය.

ඖෂධ අධිමාත්‍රාව සදහා මූලික වන අනිකුත් ප්‍රධාන හේතු අතර අපහැදිලි ඖෂධ වට්ටෝරු, වෛද්‍යවරුන්ගේ අතපසුවීම්, නියමිත වාර ගනන මෙන්ම කාල පරාසය ඉක්මවා ඖෂධ ගැනීම, වෛද්‍ය නිර්දේශිත කාලය ඉක්මවා ඖෂධ ගැනීම මෙන්ම සුදුසුකම් නොලත් වෛද්‍යවරු සහ ඖෂධවේදීන් බවත් වෛද්‍ය රවී ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

අධිමාත්‍රාව වලක්වාගැනීම සදහා ඖෂධවේදීන්ගේ දැනුවත්භාවය ඉතා වැදගත් සාධකයක් බවත් වැරදි සහගත වෛද්‍ය නිර්දේශ හදුනාගැනීමට තරම් ඔවුන් දැණුමෙන් සන්නද්ධ විය යුතු බවත් හෙතෙම කීය.

වෛද්‍ය රවී ජයවර්ධන මහතා මේ පිලිබදව සදහන් අගෝස්තු 31 දිනට යෙදෙන ලෝක අධිමාත්‍රා දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදීය.