අපේ අපනයන ජුනි 18 -21 ලෝකයටම විවරවෙයි

EXPO 2026 ප්‍රදර්ශනය අප රටේ නිෂ්පාදන ලෝක වෙළදපල වෙත රැගෙන යන ශක්තිමත් පාලමක් බවත් ඒ මගින් දේශීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර අවස්ථාවන් රැසක් උදාකරගත හැකි බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා අනාවරණය කළේය.

රජයේ ප්‍රතිපත්ති සහ පෞද්ගලික අංශයේ හැකියාවන් එකිනෙක යා කරමින් රටේ දිගුකාලීන ආර්ථික සහ තිරසාර වර්ධනයක් ඇතිකිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

EXPO 2026 ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදන ලෝකය හමුවට ගෙනයාමට සහ ජාත්‍යන්තර වෙළදපල තුල අපගේ පැවැත්ම ශක්තිමත් කිරීමට ගතහැකි සුවිශේෂ ප්‍රයත්නයක් ලෙස තමා හදුන්වන බවද  ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (09) EXPO 26 ප්‍රදර්ශනය පිලිබදව නිල වශයෙන් දැනුම්දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව ගෝලීය වෙළදපල වෙත ගමන් කිරීමේ පුලුල් මාර්ග විවෘත කෙරෙන EXPO 2026 ප්‍රදර්ශනය ජුනි 18 – 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතව ඇති අතර මෙහිදී අපනයන ක්ෂේත්‍රයේ සියලුම අංශ නියෝජනයනය කරමින් කාර්මික, කෘෂිකාර්මික, ඇගලුම් සහ සේවා වලින් සමන්විත දැවැන්ත අත්දැකීමක් විදගැනීමට EXPO 2026 ප්‍රදර්ශනය මගින් ඉඩ සැලසෙනු ඇත.

අපනයන වෙළදපල ශ්‍රී ලංකා ආර්ථිකය තුල අති දැවැන්තයකු බවට පත්කිරීමේ අඩිතාලම මේ වනවිට සකස් කර ඇති බවත් 2030 වසරේදී අපනයන වෙළදාම තුලින් ඇමරිකන් ඩොලර් බිලියන 36ක ආධායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිහ මහතා මෙහිදී අවධාරණය කළේය.

“2026 ප්‍රදර්ශනය අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයේ නියුතු කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුලුව අපනයනකරුවන් 750ක් සහ ප්‍රධාන පෙ‍ෙළ් ජාත්‍යන්තර ගැනුම්කරුවන් ආයෝජකයන් 1500 නියෝජනය කරනව.”

“ආයෝජන සංසද, කර්මාණ්ත සැසි, ව්‍යාපාරික හමුවීම්, ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ විලාසිතා සංදර්ශන, සංස්කෘතික ප්‍රසංග, සජීවී නිෂ්පාදන, සංදර්ශන මෙහිදී අත්විදීමට හැකියාව පවතිනව”.

අපනයන ක්ෂේත්‍රයේ විවිධ පසුබෑම් සමග ගෙවුනු පසුගිය වසර 14 ක කාලයේ අපනයන වෙළදාම දිරිගැන්වෙන මෙවැනි වැඩ සටහන් ක්‍රියාවට නොනැගි අතර EXPO 2026 ප්‍රදර්ශනය 2012 පසුව පැවැත්වෙන්නේ මෙවර බවත් පසුගිය කාලපරිච්ජේදය තුල අඩුපාඩු වූ බොහෝ දේ මෙවර ප්‍රදර්ශනය මගින් ආවරණය කිරීමට කටයුතු කරන බවත් මංගල විජේසිංහ මහතා සදහන් කළේය.

2026 ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාව සදහා අමාත්‍ය කුමාර ජයකොඩි ,නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අභයසිංහ, අරුන් හේමචන්ද්‍ර, එරංග වීරරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන්, සහ මහ කොමසාරිස්වරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ඇතුලු ඉහළ රාජ්‍ය නිලධාරීන්,ආයෝජකයින් වානිජ මණ්ඩල ප්‍රධානීන්, අපනයනකරුවන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවූහ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *