විවාහයට අත්‍යවශ්‍ය විද්‍යාත්මක පොරොන්දම

මීට වසර ගනනාවකට පෙර මට ඇය මුණගැහුනේ කුරුණෑගල ශික්ෂණ රෝහලේදීය. එදින මා පෞද්ගලික කටයුත්තක් සදහා කුරුණෑගල නගරයට ගියෙමි. මා සැලසුම් කළ කාලයට වඩා අඩු වේලාවකදී එම කටයුතු අවසන් කර ගැනීමට හැකිවීම නිසා කුරුණෑගල නගරයේ පැය කිහිපයක් රැදී සිටීමට එදින මට අවස්ථාව හිමිවිය.

මගේ ඥාති නැගනියක් කුරුණෑගල රෝහලේ හෙද සොයුරියක් ලෙස සේවය කරයි.ඇය දිගු කලකින් මුණ ගැසීමට අවස්ථාවක් නොවීය.එම නිසා ඇය මුන ගැසී ගියානම් හොද යැයි ඒ අවස්ථාවේදී මට සිතිනි. නැගනියට  දුරකතන ඇමතුමක් ලබා දුන් මා ඇය බැලීමට පැමිනෙන බව පැවසීමි.

“අනේ අක්කේ දැන් මම පොඩි වැඩක ඉන්නේ පැයකදි විතර මේ වැඩේ ඉවර වෙනව පොඩ්ඩක් ඉන්න පුලුවන් නේද ? ඇය කලබලයෙන් පැවසුවාය

“අය්යෝ ඇත්තද මට පරක්කු වෙයි එහෙනම් ‘’මා පැවසුවේ කනගාටුවෙනි.

‘’මොන පරක්කුවක්ද”  “යන්නෙ එහෙම නැහැ හම්බවෙන්නෙ  නැතුව’’ හරිද?

‘’ ඔයා පොඩ්ඩක් වටේ ඇවිදල එන්න.  නිවුස් දෙක තුනක් හොයාගන්නත් පුලුවන් වෙයි.

එසේ කියූ ඇය ඉක්මනින් දුරකතනය විසන්ධි කලාය.

මා තැලසීමියා සායනයට පැමිණියේ ඇයගේ එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි

 එහිදී තරමක් ඉඩකඩ ඇති ස්ථානයක මට වාඩි වී සිටීමට අවකාශ ලැබිණි. මාසිටි තැනට මදක් එපිටින් තරුණ කාන්තාවක් සහ ගැහැණු ළමයෙක් වාඩිවී සිටියාය.

මට ඔවුන්ගෙන් විස්තර විමසන්නට සිතිණි .තරමක් කුළුපගුවූ පසු මම ඇය සමග කතාවට වැටිණි.

“ මෙයාටද බෙහෙත් ගන්නෙ”

‘’ඔව් දැන් අවුරුද්දක ඉදල මෙයාට අසනීපයි’’

ඇය හැගීම්බරව පිලිතුරු දුන්නනාය.

‘’ඇත්තද?

මෙයා විතරද ඉන්නේ?

‘’නෑ පුතෙකුත් ඉන්නව’’

‘’හ්ම්’ ‘ හ්ම් “

“එයාට මුකුත් නැතුව ඇති මම හිතන්නෙ”

 මම බොහෝ ලෙන්ගතු හඩකින් ඇයගෙන් විමසුවෙමි.

‘දෙවි පිහිටෙන් එයා නිරෝගීයි.”

ඒ සමගම ඇයගේ දෑස කදුලින් පිරී ගියේය සිහින් ඉකිබිදීමක්ද නැගිිනි.

“අනේ සොරි මම වැරදි දෙයක්ද ඇහුවෙ දන්නෙ නැහැ”  

“නෑ මිස් මගෙ පුතා මතක්වූනා “

“ආ ඇයි එයාට මොකද

“එයා දැන් මා ලග නෑ “

“දුව අසනීප වුනාට පස්සෙ මහත්තය හුගක් වෙනස් වුනා “

“එයා පුතත් අරන් එයාගෙ මහගෙදර ගියා “

“අපිට එහෙ එන්න දෙන්නෙත් නහැ”

“හරි අපරාදයක්නෙ ඇයි ඔයාල  මේ අසනීපෙ ගැන මීට ඉස්සෙල්ල දන්නෙ නැද්ද “

“පොඩි ලේ පරීක්ෂණයකින් මේ ගැන දැනන්න පුලුවන්නෙ” . ”රෝග වාහකයන්  දෙන්නෙක් විවහ වෙන්න හොද නැහැ”.මම කියාගෙන  කියාගෙන ගියෙමි.

“ඔව් දැනගෙන හිටිය ඒත් ඒ ගැන අපි වැඩිය හිතුවෙ නැහැ.  “

“දැන් ඉතින් පරක්කු වැඩියි “හ්ම් .. මොනව කරන්නද ”ඇ සුසුමක් හෙලමින් පැවසීය.

ඒක දැනගෙනත් ඇයි ජීවිතයට එහෙම අවධානම් ගත්තෙ  “එක්කො ඔයාලට බබාල හදාගන්න ඉස්සෙල්ල වෛද්‍ය උපදෙස් ගන්න තිබ්බ “ එතකොට වෛද්‍ය උපදෙස් අනුව පිලිසිදවීම් කරගන්න පුලුවන් නෙ “ අපරාදෙ තැලසීමියාව වලක්වා ගන්න පුලුවන් ලෙඩක් නෙ”.

තැලසීමියා වාහකයින් නැතිනම් සුළු තැලසීමියාව (minor thalassemia) සහිත දෙදෙනෙකු අතර විවාහයකින් මහ තැලසීමියාව (major thalassemia) ව සහිත රෝගී දරුවන් බිහිවෙයි.සාමාන්‍යයෙන් මෙවැනි යුවලකට තැලසීමියා රෝගි දරුවෙකු බිහිවීමේ ප්‍රවනතාවය 25% කි.

කෙසේවුවද සුළු තැලසිසීමියාව රෝගයක් නොවන අතර එය බාහිරව හදුනා ගැනීමට හැකියාවක් ද නොමැත.එහෙත් තැලසීමියා වාහකයින් දෙදදෙනකු විවාහයකදී උපදින දරුවන්ට  මෙම රෝගය ඇතිවීමේ අවධානමට යටත්වෙයි.

තැලසීමියා රෝගී දරුවෙකු උපතින් මාස හය(06) පමණ වන විට රෝග ලක්ෂණ පෙන්නුම් කෙරෙයි. ඔවුන්ගේ රුධිරයේ  රක්තානු හිගවීම හේතුවෙන් නීරක්තියට පත්වෙන අතර රෝගීන්ගේ ජීවිතය  රැක ගැනීම සදහා රුධිර පාරවිරලනය සිදුකළ යුතුය  අතර  ඊට අමතරව ඔවුන්ගේ ශරීරයේ යකඩ ඒකරාශී වීමද තවත් විශාල සෞඛ්‍ය ගැටලුවකි.

රුධිර පාරවිරලනය මගින් සිරුරට එක්වන යකඩ මෙන්ම අකර්මන්‍යවූ රතු රුධිරානු බිද වැටීමෙන් සිරුරේ එක්වන යකඩ ඉවත් කිරීමට ස්වභාවිකවම ඔවුන්ට හැකියාවක් නොමැතිවීම නිසා ඒවා ඉවත් කිරීම වෛද්‍ය ප්‍රතිකාර මගින් සිදුකළ යුතුයි.මෙම රෝගීන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රිය වල මෙන්ම අන්තරාසර්ඝ පද්ධතියේ මෙම යකඩ තැන්පත් වන බැවින් ඒ පිළිබදව නිරීක්ෂණය කිරීමට  විශේෂිත වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමද සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ තැලසීමියා වාහකයන් (minor thalassemia) ලක්ෂ පහක් පමණ ජීවත් වන බව අනාවරණය කරගෙන ඇත.එසේම තැලසීමියා රෝගීන් 2000 පමණ ප්‍රතිකාර ලබා ගන්නා අතර වාර්ෂිකව 50 – 60 පමණ රෝගීන් ප්‍රමාණයක් මෙම පිරිසට එක්වෙති.

තැලසීමියාව සංඛ්‍යාත්මකව විශාල ප්‍රමාණයක් හමුනොවුනද ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සදහා සෞඛ්‍ය අංශ වලින්  විශාල බර පැනක් දැරිය යුතු වෙයි.ඒ සෑම මසකට වරක් ඔවුන්ට රූධිරය ලබාදීම සහ ඔවුන්ගෙ සිරුරින් යකඩ ඉවත් කිරීම සහ ඒ සම්බන්ධ පරීක්ෂණ වෙනු වෙනි.

එසේම තැලසීමියා රෝගී දරුවෙකු සිටින පවුලකට මුහුණ දීමට ඇති කායික මානසික මෙන්ම සමාජීය ගැටලු ප්‍රමාණයද සුළු පටු ලෙස සැලකිය නොහැකි වෙයි.

මෙවැනි පසුබිමක් යටතේ වඩාත් සුදුසු වන්නේ රෝගීන් ඇතිවීම වැලක්වීමයි අතර ඒ සදහා රෝගය පිලිබදව සමාජ සාක්ෂරතාවය වැදගත්වෙයි. තැලසීමියා වාහකයන් දෙදෙනකු අතර විවාහය සිදුවීම වැලක්වීම මෙහිදී ප්‍රධාන කර්තව්‍යය වෙයි .යම් හෙයකින් මෙවැනි වාහකයන් අතර විවාහයක් සිදුවන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව දරුවන් පිලිසිද ගැනීම් සිදු කිරීම මෙහි තවත් පැතිකඩක් ලෙස දැකිය හැකිය.

හෙිදී  පූර්ව රුධිර පරීක්ෂාවකදී තැලසීමිය වාහක තත්ත්වය  පිලිබදව පූර්ව සංඥා ලබා ගත හැකි අතර රෝගය පිලිබද සැක සහිත අවස්ථාවලදී මේ ‍සදහා වෛද්‍ය පරීක්ෂණයන් සදහා යොමු වී ම මෙන්ම ඒ පිලිබදව නිශ්චිත නිගමනයවට පැමිණීම අත්‍යවශ්‍ය වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ළමාරෝග විශේෂඥ වෛද්‍ය රංජනී එදිරිසූරිය මහත්මිය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රුධිර රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් රත්නායක මහත්මිය කොළඹ සෞඛ්‍ය පවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය සම්මන්ත්‍රනයේදී  පැවැත්වූ දේශන ඇසුරින් සකස් කෙරිණි.

සටහන – ලක්ෂ්මි වික්‍රමසිංහ