ලොව පුරා HIV ආසාදිතයන් හමුවීම 2010 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේදී 40% පහළ යාමක් දක්නට ලැබෙන නමුදු අප රටේ එම කාලපරිච්ඡේදය තුල නව රෝගීන් වාර්තා වීම 48% ඉහළ නැග ඇති බවත් ඒ අනුව අප රටේ රටේ HIV වෛරසය ශරීර ගතවූවන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවත් ලිංග්‍රාශිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය අවධාරණය කළාය.
එසේම අපේ ප්‍රජාව අතර HIV ආසාදිතයන් ඉහළ පැතිරීමක් දක්නට ඇත්තේ වයස අවුරුදු 20 – 24 තරුණ පිරිස අතර බවත් නොදැනුවත්භාවය මෙන්ම නොසැලකිලිමත්භාවය මේ සදහා හේතු වන බවත් ඇය සදහන් කළාය.
කෙසේ වුවද HIV ආසාදිතයන් අවම කර ගැනීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග හදුනා ගැනීම මෙන්ම රෝග නිවාරණය සදහා අවශ්‍ය ප්‍රායෝගික කියා මාර්ග සදහා වඩා අවධානයක් යොමු කර ඇති බවත් ඒ සදහා තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩ සටහන් මෙන්ම ඒ සදහා වැඩි වශයෙන් සමාජ මාධ්‍ය යොදා ගැනීමට කටයුත කරන බවද ඇය සදහන් කළාය.
HIV ආසාදිතයෙක් AIDS රෝගයට ගොදුරු වීමට වසර 2 -10 දක්වා කාලයක් ගතවන බවත් එසේම ආසාදිතයන් බාහිරව දැකිය හැකි රෝග ලක්ෂණ කිසිවක් නොමැති බැවින් රෝගය නිවරදිව හදුනා ගැනීම සදහා ඊට අදාල පරීක්ෂණ වලට යොමුවිය යතු බවත් වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය අවධාරණය කළාය.
HIV ආසාදිත තත්ත්වය හදුනා ගැනීම සදහා රුධිර පරීක්ෂණ මෙන්ම ඇන්ටිජන් සහ මුඛ මාර්ග පරීක්ෂණ සිදුකළ හැකි බවත් එසේම රුධිර පරීක්ෂණ සිදුකර ගැනීමට අකමැති පුද්ගලයන් සදහා මුඛ මාර්ගයෙන් සිදුකරන ස්වයං පරීක්ෂණ කට්ටලයක් මගින් මෙම පරීක්ෂණ සිදුකර ගත හැකි බවත් එම උපකරණ අදාල සායන මගින් නොමිලේ ලබා ගත හැකි බවද ඇය සදහන් කළාය.
HIV සායන 40 ක් දිස්ත්‍රක්ක 25 ආවරණය වන පරිදි රටපුරා ක්‍රියාත්මක වන බවත් එසේම සෑම ප්‍රධාන රෝහලකම මේ සදහා සායන පැවැත්වෙන බවද ඇය සදහන් කළාය.
ශ්‍රී ලංකාවේ මේ වනවිට HIV අසාදිතයන් 7168 ක් ජීවත් වන බවත් ඒ අතරින් වැඩි ප්රතිශතයක පිරිමි පුද්ගලයන් බවත් එසේම තරුණ ප්‍රජාව අතර රෝගය පැතිරීමේ වැඩි ප්රවනතාවයක් පවතින බවත් ප්‍රජා සෞඛ්‍ය විහේෂඥ වෛද්‍ය මාධවී ගුණතිලක මහත්මිය අනාවරණය කළාය.
ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී ඔවුහු මේ බව පැවසීහ.