අපේ රටට සල්ලි ගලන මැණික් පැතුම සුන්වෙලා

ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ සදහා ලොව සුපතල නමක් හිමිවූවද අපනයන ආර්ථිකය තුල එහි දායකත්වය ප්‍රස්ත මට්ටමකට පැමිණ නැති බවත් මැණික් අපනයනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති මේ සදහා හේතු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරණය කළාය.

කෙසේවුවද මැණික් අපනයන වෙළදපල තුල ඉලක්ක ගත ආදායම ලගාකර ගැනීම රජයේ අරමුණ බවත් ඒ සදහා අවශ්‍ය ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීම සදහා රජය කැපවී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

ශ්‍රී ලංකාවේ වටිනාම මිණි කැට රුවන්පුරයෙන් මතුවුවද එම ප්‍රදේශ නිසි ඇගයීමට ලක්වී ඇතිදැයි විමසිය යුතු බවත් එසේ වුවද උසස් තත්වයේ මැණික් අපනයනය වෙළද පොල තුල ඔවුන් සුවි‍ශේෂ කොටස්කරුවන් බවත් අගමැතිනිය කීවාය.

ඊයේ (15) පැල්මඩුල්ල සිල්ව රේ (silver ray) හෝටලයේ පැවැත්වූ ජාතයන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ දී අගමැතිනිය මේ බව සදහන් කළාය .

ප්‍රදර්ශනය සමග එක්ව සිටින ඇමරිකාව, ස්විස්ටර්ලන්තය, චීනය, ඉංදියාව, තායිලන්තය, පකිස්ථානය වැනි රටවලට තමා තුති පුදකරන බවත් රජයේ ප්‍රතිපත්ති මත විශ්වාස තබමින් මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඉදිරියටත් කටයුතු කිරීමට එක්වන ලෙස තමා ආරාධනා කරන බවත් අගමැතිවරිය පැවසුවාය.

මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ක්ෂේත්‍රය තුල අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක් වූ අසීරු ඉලක්කයක් බවත් එසේ වුවද දියමන්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ රළු මැණික් ඝෘජු අපනයනය වැනි වැඩසටහන් සදහා අවධානය යොමු කර ඇති බවත් ඒ සදහා අවශ්‍ය නව නීති සකස් කිරීම ඇතුලු නව ප්‍රතිපත්ති රැසක් සකස් කරමින් සිටින බවත් කර්මාණ්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ ලොව ප්‍රමුඛම අපනයන වෙළද පොළ බවට පත්කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කර තිබූ අතර gem city Rathnapura 2025 ලෙස නම් කර තිබිණි.

ප්‍රදර්ශනය අගෝස්තු 15, 16, 17 දිනයන්හි පැවැත්වීමට නියමිත අතර විවිධ වර්ගයේ මැණික්, ස්වර්ණාභරණ කැණීම් සහ සැකසීම, පරීක්ෂණ සේවා, ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ අධ්‍යාපනික සේවා වැනි අංග ප්‍රදර්ශණයට එක්ව තිබිණි.

මේ අතර මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ රජයේ පළමු වෙබ් අඩවිය වන www.gemcityrathnapura.com එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.